කෙටි කතාව – පෙම්වතියද බිරිඳද

3
2438

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

—පෙම්වතියද බිරිදද?—

“ඒයි අර බලපන්කො අතන. අර කඩේ ඉස්සරහ නවත්තපු වාහනේ ඉන්න කොල්ලා.”

නිශාදි එහෙම කිව්වම නිස්ලත් උවමනාවෙන් බැලුවෙ ඒ වෙනකොටත් සුදු පාට අලුත්ම සුඛෝපබෝගී මෝටර් රථයෙන් බැහැල මෙරූන් පාට කමිසයත් කලු කලිසමත් ඇදල ඇදුමට හොදින් ගැලපෙන ටයි එකකුත් දාල හිටිය කඩවසම් තරුණයා දිහායි. පාරෙන් එහා පැත්තෙ හිටියත් තමන් දිහා ඉගිබිගි කරමින් හිනා වෙන තරුණියන් තිදෙනා දුටු අවිශ්ක මොහොතකට නැවතී ඔවුන් සමග සිනාසී නැවතත් වෙළෙඳසල වෙත යන්නට විය. නමුත් මේ කඩවසම් සල්ලිකාර පෙනුමකින් යුතු තරුණයා නිස්ලත් ඇගේ මිතුරියන් තිදෙනාත් අතර කතාබහේ පලමු මාතෘකාව වී අවසන්ව තිබුනි. මිනිත්තු කිහිපයකින් වෙළෙඳසලෙන් පිටතට පැමිනි අවිශ්ක නැවතත් මද සිනාවකින් ඔවුන් දෙස බලා වාහනයට නැගී පිටත්ව ගියමුත් මිතුරියන් තිදෙනාගේ සිතින්නම් ගැල වී යන්නට නොහැකි විය.

“හෙන සල්ලිකාරයෙක්ද කොහෙද බන්.”

“මාර හැන්ඩිය නේ?”

“හෙටත් එයිද?”

අතොරක් නැති කථාබහ අතර නිහඩව සිතින් ඔහු සමග පැටලෙමින් සිටි නිස්ලා යලි සිහිඑලවා ගත්තේ තම බාහුවකට ඇගිල්ලෙන් අනිමින් අරුන්දි කියවාගෙන යනු ඇසීමෙනි.

“මේ මේ නිස්ලා… මනෝ පාර හරියන්නෑ. හරිද? ඒ සිංහල කොල්ලෙක්. උබලගෙ ගෙදරින්නම් කැමති වෙන්නෑ. ඒ නිසා පැත්තකට වෙලා හිටපන්.” අරුන්දි විහිලුවෙන් නමුත් පැවසුවේ සත්‍යයකි.

ෆාතිමා නිස්ලා උපතින් මුසිලිම් ජාතික තරුණියක්. ආගම දහම ඇදහුවත් අසීමාන්තිකව අන්තවාදී අදහස් නොදැරුව පවුලක් නිසා ඇයට සාමාන්‍ය අයුරින් ඇදුම් පැලදුම් කිරීමට නිදහස ලැබුණි. එහෙත් දෙපතුල් දක්වා දිගු සායකින් බ්ලවුසයකින් හෝ දිග ගවුමකින් සහ කනකර ආභරණවලින් එහා නොගිය ඇය චාම් සුන්දර පෙනුමකින් හෙබි යුවතියකි. උසස්පෙළ හදාරා අවසන්ව සිටි ඇය රූපලාවණ්‍යය පාඨමාලාවක් හැදෑරීමට ගෙදරින් අවසර ගත්තේ මදක් අපහසුවෙනි. ඇය අවිශ්ක දුටුවේත් එම පංතියට පැමිණි දිනයක විවේක කාලයේදී මදකට පිටතට පැමිණි මොහොතකයි.

අවිශ්ක දිසානායක යමක් කමක් ඇති පවුලක බාල පුතුය. දෙමාපිය දායාදය උරුම වූ ඔහු දිනෙන් දින තමන්ගේම ව්‍යාපාර සාර්ථකව ගොඩනගාගමින් තම පවුලෙන් ලද සහයෝගයද ඇතිව සාර්ථක ජිවිතයක් ගොඩනගාගත්තෙකි. සාම්ප්‍රදායික අදහස් දැරූ දෙමාපියන්ට ඔහු සැළකුවේ පූජනීයත්වයේලාය. කුඩාකල සිට දැඩි ස්වභාවයක් ඉසිලූ පියාට පවුලේ කවුරුත් ගෞරවාදරය කළෝය.

නිවසට පැමිණි පසු ඔහුට තරුණියන් පිලිබද මතකයක් නොවූ නමුත් පසු දිනත් පෙරදා මෙන්ම එතැනටම වී සිටි සිහින් සුන්දර යුවතිය දුටු විට හිත මොහොතකට තිගැස්සෙනු ඔහුට දැණින. දිග සායක් සහ ටීශර්ට් එකකින් සැරසී සිටි ඇය ඔහු දුටුවනම හැදිනගෙන ඔහුත් සමග පෙරලා සිනාසුනාය. කුමක් හෝ අහේතුවකට ඇයට කතා නොකර පසුකර යෑමට හිත ඉඩ දුන්නේ නැත. පාර අයිනට කර වාහනය නැවතූ අවිශ්ක ඉන් බැස තමා දෙසට එන අයුරු නිස්ලා බලා සිටියේ ගැහෙන හදවතිනි. ඔහු සිනාසෙන්නේ දෑසින්ම යැයි ඇයට සිතුනේ ඒ සිනහවෙන් ඇගේ මුලු සිතම ඔහු කෙරේ ඇදී ගිය නිසාවෙනි.

“මොකද අද තනියම? යාලුවො දෙන්න ආවේ නැද්ද?”

ඔහු කතාකරන්නේ බොහෝ කලක පටන් දන්නා අදුනන විලසිනි. සිතතුල වූ චකිතය දුරුව ගියෙන් නිස්ලා ඔහු සමග දොඩමලු වූවාය. අඩ හෝරාවක පමණ කතාබහ අවසානයේ අවිශ්ක නැවත යන්නට ගියේ එකිනෙකාගේ දුරකථන අංකද හුවමාරු කරගෙනය. පසු දින උදෙන්ම අවිශ්කගෙන් ලැබුනු දුරකථන ඇමතුමට නිස්ලා පිලිතුරු දුන්නේ හිත සතුටින් ඉපිලෙමිනි.

දිනක් දෙකක් සතියක් මාසයක් හෙමින් හෙමින් ගෙවී ගියේ අවිශ්කත් නිස්ලාත් පෙම්වතුන් කරමිනි. හැකි හැමවිටම එකිනෙකාගේ පහස සොයා පැමිනි ඔවුන්ට සැබෑ ලෝකයේ සිමාමායිම් ගැන සිහිවූයේ නැත. ඔවුන්ව යලි මෙලොවට ඇද දැමූයේ අවිශ්කගේ ගෙදරට ඔවුන් පිලිබද සැල වූ දාය.

පුරුදු පරිදිම මහවැලි ගං ඉවුර අසල තානායමක එලිමහනේ හිදගෙන දෑත් පටලාගෙන සිටි දෙදෙනා ඉදිරියට හිටිහැටියේ කඩා වැදුනේ අවිශ්කගේ පියාය. තම පියාගේ විනිවිද යන සුලු බැල්මට අවිශ්ක අදටත් කුඩා දරුවකු මෙන් යටත් විය.

“මට මේ දරුවත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. ඔහොමම ඉදගෙනම කතාකරමුකො”

එසේ පැවසූ දිසානයක මහතා පැය කීපයක දිග කතාබහ අවසානයේ සියලු දේ පවසා අහවර බැවින් නිස්ලා තම පුතු අමතක කිරීමට එකගවෙතැයි සිතුවේය.

“ඉතිං මොකද්ද මේ ළමයගෙ අදහස? මේ සම්බන්දෙ දිගටම කරගෙන ගිහිල්ල ජීවිත ගානක් අමාරුවෙ දානවද නැත්තම් මේක මෙතනින් ඉවරයක් කරල දාල තමන්ගෙ පාඩුවෙ ඉන්නවද?”

නිරායාසයෙන්ම නිස්ලගේ දෑස් යොමු වුනේ අවිශ්ක වෙතටයි. ඔහු කෙරෙන් වරදකාරී ස්වභාවයක් පෙනුනත් ඔහු තවමත් නිහඩය. නැත. ඔහු අතහැරිය නොහකිය. තම සිත ඔහු කෙරේ ආදරයටත් වඩා ලෝබකමින් පිරී ඇති අයුරු ඇයට පසක් විය.

“මොනව උනත් මම අවිශ්කගෙන් ඈත් වෙන්නේ නෑ”

ඇගේ දැඩි තීරණය හමුවේ කිසිවක් නොපැවසූ තම පියා කෝපයෙන් නික්ම ගිය අයුරු අවිශ්ක බලාසිටියේය. නැවත නිස්ලා දෙස බැලූ ඔහුගේ කම්මුලට වැදුනු අතුල් පහරින් කෝපයෙන් ඇවිස්සුනත් ඊලග මොහොතේදී තම පපුවට තුරුලු වී හඩා වැටෙන්නට වූ නිස්ලා තව තවත් දැඩිව තුරුලු කරගත්තේ මෙතරම් දේ සිදුවීත් ඇය තවමත් හැර නොයා තමන් ලග නැවතුනු අයුරු සිහිකර සිත ආදරයෙන් පුරවාගනිමිනි.

මාස කීපයක් මෙසේ ගෙවී යන්නට විය. තම පවුල ප්‍රතික්ශේප කල ඔහු ඇය වෙතම තව තවත් ලන් වූවේය. ඇයද ඔහුගේ මුලු ලෝකයම තමන් බව දන්නා නිසාම ඔහු අතහරින්නට නොසිතුවාය. වෙනස් කල නොහැකි දේද ඇත. කර්මය ඔවුනට හරස් විය.

දෙදෙනා අතර ඇති වූ කුඩා විරසකයක් බහින්බස් වීමක් තෙක් දුර ගියෙන් කෝපයට පත් අවිශ්ක නිවස බලා රිය පැද වූයේ අධික වෙගයකිනි. අතුරු පාරෙන් ප්‍රධාන පාරට අපරීක්ශාකාරී ලෙස දැමූ වාහනය වෑන් රියක ගැටී පාරෙන් ඉවතට පැන පාර අයිනේ නවතා තිබූ ලොරියක වැදෙන අයුරු ඔහු යාන්තමට දකිනවාත් සමගම සියල්ලම අදුරු වී ගියේය.

අවිශ්ක සිහිය ලබනවිට සිටියේ රෝහලේය. පවුලේ සියල්ලන්ම ඔහුගේ ඇද වටා සිටගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ඔහු සිහිය ලබන තුරුය. ඇදෙන් බැස ඇවිදගැනීමට තරම් සුවය ලබන්නට ඔහුට තවත් මාසයක පමණ කාලයක් ගත්විය. මුලු කාලයම පවුලේ සියල්ලන් තමන් ආදරයෙන් බලාගත් නමුත් නිස්ලා කිසිවිටෙක සුව දුක් බැලීමට පැමිණියේවත් ඇමතුමක්දී විමසුවේවත් නැත. පවුලෙන් ලැබෙන ආදරයත් සහයෝගයත් සමග සුවය ලබමින් සිටි ඔහුට නිස්ලා විවාහ ගිවිසගත් බව අසන්නට ලැබුණේ නිශාදිගෙනි. කලක් වෙන්ව සිටි නිසාත් හමුවූ අවසන් දින කීපයේ ඇති වූ මත ගැටුම් නිසාත් තවත් බොහෝ හේතු නිසාත් ඇය සොයායන්නට ඔහුට දැඩි උවමනාවක් නොදැනුනත් ඔහුට සිතාගත හැකිව තිබූ අයුරින් ම ඔහුගේ පවුල විසින් පෙම්වතුන් වෙන් කර තිබිණි. ඇගේ දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දී ඇය විවාහ ගිවිසගන්නට ඇත.

********************තවත් පැතිකඩකින් බලමු නේද?********************

නිස්ලාත් අවිශ්කත් තානායමේදී මුණගැසී නිවසට පැමිණි අවිශ්කගේ පියා මිදුලේ අසුන් ගෙන මගබලමින් සිටි තම බිරිදත් හැඩීමෙන්ම දෑස් රත් පැහැව ඉදිමී සිටි තම පොඩි ලේලියත් දෙස බැලුවේ මහත් අසරණ කමක් හිත පුරවගෙනය.

“ඒකි නාහෙට අහන්නැති එකියක්. හැමදේම දැනගෙනත්…..”

ආදර සම්බන්දතාවයකින් අවිශ්ක විවාහ වූයේ මීට අවුරුදු හයකට පෙරය. පුංචි පුතුන් දෙන්නෙකුත් එක්ක පහුගිය කාලෙ පුරාවටම ආදරෙන් ගෙවිල ගිය මේ ලස්සන පවුල කැඩිල ඉහිරිල යාවියැයි අවිශ්කගෙ දෙමව්පියො පසුතැවිලි වන්නට වූවෝය. විශ්වාසවන්ත හිතමිතුරෙකුගෙන් අවිශ්කගෙත් නිස්ලගෙත් අනියම් සම්බන්ධතාවය ගෙදරින් දැනගත් විගස අවිශ්කගේ පියා මෙන්ම මවත් ඔහුට දැඩිව අවවාද කල මුත් ඔහු දිගින් දිගටම තම අනියම් ඇසුර පවත්වගෙන යන බව දැනගත් පසු අද මේ විදිහට ඔහුගේ පියා නිස්ලාවත් ඔහුවත් මුනගැසී සියල්ල පැවසූ නමුත් අවිශ්ක යනු විවාහකයකු බව දැන දැනත් ඇය ඔහුව අතහැරීමට අකමැති වූ විට පියා තම පුත්‍රයාත් ඔහුගේ අනියම් බිරිදත් ගැන අසීමාන්‍තිකව කලකිරුනේය.

ඇය, මේනු, අවිශ්කගේ නීත්‍යානුකූල බිරිද, අවුරුදු දෙකක ආදරයකින් පසු මේවන තුරුත් අවුරුදු හයක් පුරාවට ආදරණීය බිරිදක්ව ඔහුගේ පුතුන්ට ආදරණීය මව්ක්ව සිට ඔහුගේ අනියම් ඇසුර දැනගත් මොහොතේ සිට තම සැමියා අහිමි වේයයි ශෝකයෙන්ද දරුවන් පත්වන තත්වය ගැන සිත් කරදරයෙන්ද හඩා වැටෙන්නට වූවාය. කිසිදිනක දියණියක් මිස ලේලියක් නොවූ ඇගේ වේදනාව වැඩිහිටි දිසානායක යුවලට ගෙන ආවේ දැඩි ශෝකයකි. නිස්ලත් සමග ඇසුරක් පවත්වාගෙන ගියත් අවිශ්ක මේනුට වචනයෙන් හෝ වෙනස්කමක් කරන්නට සිත් නොදුන්නේ ඇය මේතාක් කාලයකට ආදරණීය ගුනයහපත් බිරිදක්ව සිටි හෙයිනි. ලස්සනට අදින්න පලදින්නට ප්‍රියකල ඇය බුද්ධිමත් කාන්තාවක් වූවාය.

අවිශ්ක අනතුරට පත්ව රෝහල්ගත කල විට මේනුත් අවිශ්කගේ දෙමාපියනුත් හැකි විගස රෝහල වෙත දිවගියෝය. අවිශ්ක දුටුවිට මේනුගේ හිත කඩාවැටුණු නමුත් සිහිඑලවාගත් ඇය අවස්තාවේ හැටියට තමන් අතින් සිදුවිය යුතු සියල්ල නොපිරිහෙලා ඉටු කලාය. රෝහල් වාට්ටුවේ දොර ලගදී ඇයට නිස්ලා මුහුනට මුහුන හමු වූ මොහොතේදී සිතෙහි වූ වේදනාව ඉවරයක් වනතුරුම මේ අවිචාරවත් යුවතියට පහරපිට පහර දෙන්නට සිතූ නමුදු ඇය සිත් එකලස් කොට ගෙන කතා කරන්නට වූවාය

“ඔයා නිස්ලා නේද නංගී?”

“ඔව්. ඒ..ඒත් ඔ ..ඔයා කවුද?

“මම අවිශ්කගේ වයිෆ්”

නිස්ලා කලබලව පැනයන්නට මගක් සොයනු දුටු මේනු නිස්ලාගේ වැලමිටින් අල්ලා තමන්දෙසට ඇදගත්තේ තමන් පවසන දෙය ඇයට හොදින් ඇසෙන්නට සලස්වමිනි.

“මේ අහනවා නිස්ලා. අද අපි මේක ඉවරයක් කරගමු. එක්කො අවිශ්කව බලාකියාගෙන තමුන් ඉන්නව. නැත්තන් අපිට අපේපාඩුවෙ ඉන්න දීල ආයිත් අවිශ්කගේ ඇස් මානෙටවත් පේන්න එන්නෙ නැතුව ඉන්නව. කොහොමත් ඉතින් දැන් අවිශ්කව බලාගන්න වෙනවනේ කාට හරි.කැමතිනම් ඇවිල්ල නවතිනව එයත් එක්කම. මට දැන් මගෙ දරුවො දෙන්නා ගැන හිතන්න තියෙනව. කොහොමටත් අවිශ්ක හොදින් ඉන්දි ඔයා එයාට අපිත් එක්ක ඉන්න දුන්නැති එකේ එයා එක්තැන් වුනාමත් තමන්ටම පුලුවන්නෙ එයත් එක්කම ඉන්න.”

හිත වේදනාවෙන් පිරුනත් හිත දැඩි කරගෙන මේනු කියවගෙන ගියේ මේ කරදරෙන් තමන්ගෙ සැමියව නිදහස් කරගන්න තිබුනු අන්තිම අවස්ථාව මේ බව සිතාය.

“ඔහොම මන් දිහා බලන්නෙ? මම කියන්නෙ ඇත්ත. අවිශ්ක හොද වුනත් එයා පැරලයිස් වෙයි කියල ඩොක්ටර්ස්ල කියන්නෙ. මම දැන් දරුවො ගැනත් හිතන්න ඕනෙ.”

“අනේ මට අවිශ්කව බලන්න ඕනෙ.”

“ඉතිං ගිහින් බලාගන්න.”

මේනු නිස්ලාව අතහැර ඇය පසුපසින් අවිශ්කගේ ඇද අසලට ගියාය. අවිශ්ක සිටියේ තවමත් සිහිසුන්වය. හිසත් මුහුනත් අතපයත් වෙලුම්පටිවලින් වෙලා තිබුනි. මේනු කියු සියල්ලම සත්‍යයක් බව දැනටමත් නිස්ලාට අවබෝධ වෙමින් තිබුනි. මෙය තමන්ට කිසිලෙසකින්වත් අවැසි වූවක් නොවන බව ඇය වටහාගත්තාය. මෙතනින් පැන යා යුතුය. නැවත කිසිදිනක හසු නොවන ලෙස පලා යායුතු බව සිතූ ඇය ආපසු හැරෙන විට මේනු මග අහුරා සිටගෙන සිටියාය.

“මට යන්න දෙන්න. ..මට යන්න දෙන්න…. අනේ…”

නිස්ලා පැනයන්නට දගලන විට ඇගේ දෑත්වල බාහු දැඩිව තදින් අල්ලාගත් මේනු කෝපාවිශ්ටව කෑ ගසුවාය.

“අහපු දේට උත්තර දීලම යනවා නිස්ලා. අපිට අපේ පාඩුවෙ ඉන්න දෙනවද නැත්තන් තමසෙට ඉඩ දීල මම දරුවො දෙන්නත් එක්ක යන්නද?. කියනවා???”

“ම ..මම.. යන්නම්. මම ආයෙත් එන්නෑ.”

මේනු ඇයව අතහැරියාය. නිස්ලා හැකි ඉක්මනින් පසු නොබලාම දිවගියාය. ශෝකය කෝපය කෙතරම් වුවත් කම්මුල් දිගේ කඩා හැලෙන කදුලු අතරින් මේනුගේ විඩාබර මුහුනේ මද සිනාවක් මොහොතකට ඇති වී නැති වී ගියේ අවසානයේදී තමන් ජයගත් බව දැනුනු නිසාය. සිදුවූ සිදුවීම් සමග සසඳන කල නොගිනිය හැකිතරම් බොරුවක් කරන්නට ඇයට සිදුවුනත් එය කල යුත්තක් විය. නැත. ඔහු සදාකාලික අබ්බගාතයකු වන බවක් කිසිවකු පැවසුවේ නැත. ඔහු සුවය ලබනු ඇත. නමුත් ඒ නැවතත් තමන්ගේම සැමියා ලෙසමය.

සිතූ ලෙසම නිස්ලා නැවත ඔවුන්ගේ ජීවිතයට පැමිණියේ නැත. අවිශ්ක සුවය ලැබූ නමුත් ඔහු යලි ඇයව සොයාගියේත් නැත. තමන් අසරනව සිටි මුලු කාලය පුරාවටම තමන්ව ආදරයෙන් කවාපොවා බලාගත් තම බිරිද මේනුට යලි කිසිම දිනක සිතිවිල්ලකින්වත් ද්‍රෝහි නොවන බවට ඔහු තමන්ටම පොරොන්දු වූයේය .

-නිමි-

ස්තූතියි!
✍️ පන්හිඳකි මම.

මෙහි අයිතිය මුල් හිමිකරු සතුය.

අද කතාව කොහොමද ?
+1
9
+1
35
+1
8
+1
1
+1
5
+1
0
+1
11

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here