කෙටි කතාවක් – තීන්දුව

6
1876

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


තීන්දුව

” හපොයි දෙයියනේ මොන විජ්ජුම්බරයක්ද බොල ඒ පාර මේ වෙන්න යන්නෙ. “

කඩේ හිටපු තුන් හතරදෙනා එලියට බැහැලා දුවන්න ගත්තෙ සයිමන්ලගෙ ගෙවල් දිහාට.

” පියවතියො.. ඉක්මනට වරෙන් ආන්න අර මැරුනයි කියපු සයිමනයා ආපහු ගෙදර ඇවිල්ලලු. “

” මොනවා “

දොලට නාන්න ආපු පියවතී පනිට්ටුව එහෙමම බිමට අතෑරලා ගුනවතී පස්සෙන් දුවන්න ගත්තෙ හිසේ අත ගහගෙන.

” හපොයි හෙනං මෙලහකටත් ඒකා බිනරිව භාගෙට මරලා ඇති. “

” මට දුක අර අහිංසක දරු පැටව් ටික ගැන. දැන් ඉතින් උන් ටිකට කාගෙ පිහිටක්ද “

” පියදාසයත් ගෙදර හිටියොත් තමයි වැඩේ. “

” ඒකා කොහෙ ඉන්නද බං. ආං මං දැක්කා ඒකා උදේ හතයි කාලෙ බස් එකේ නැගලා හන්දිය පැත්තට යනවා. “

පියවතීත් ගුනවතීත් එක පිම්මට හති දමාගෙන සයිමන්ලගෙ ගෙදෙට්ට දුවගෙන ආවෙ කාලෙකින් බලාගන්න බැරිඋනු හොඳ අඩව්වක් බලා කියා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ වෙනකොටත් දහ පහලොස් දෙනෙක් සයිමන්ගෙ මිදුලට එක් රොක් වී සිටියෙන් සෙනග අතරින් ඉදිරියට ආපු පියවතී දැක්කෙ පිල උඩ ඉඳගෙන ඉන්න සයිමන්ව. වටේ පිටේ තිබුනෙ නිහඬබවක්. පිල උඩ ඉඳගෙන කිසි කලබලයක් නැතිව බුලත්විටක් හපමින් උන්න සයිමන් දිහා පියවතී බලාගෙන හිටියෙ පුදුමයෙන්. උළුවස්ස ගාව පඩිපෙළ වාගෙ පෝලිමට හිටගෙන හිටපු ලමයි තුන්දෙනාත් බිම ඉඳගෙන ඉන්න සයිමන් දිහා බලාගෙන හිටියෙ බිය මුසු කුතුහලයෙන්. පියවතී ඔලුව උස්සලා බැලුවෙ ගේ ඇතුල දිහා. කලුවර ගේ ඇතුලෙත් තිබුනෙ එලියෙ තිබුනු නිහඬ බවමයි. බිනරිත් පේන්නට නැහැ. හපොයි මේකා ඔය ඩිංගට ඒකිව මරලවද්ද. ඈ තව තවත් හොඳට විපරම් කරලා බැලුවෙ බිම දිගේ ගලාගෙන යන ලේ පාරක්වත් පේන්න තියෙනවද කියලා.

” අනේ මයෙ මලයො. උඹට මොකද දෙයියො මේ සිද්ධඋනේ. “

සයිමන් අසලට ගියපු පියවතී එක්වරම
කෑ මොර දෙන්න ගත්තෙ ඔහුගෙ අත් දෙක අරගෙන බදාගනිමින්.

” අපි සේරම හිතාගෙන හිටියෙ උඹ මැරිලයි කියලනෙ. මෙච්චර කාලයක් කොහෙද යකෝ උඹ ගිහිල්ලා හිටියෙ “

සයිමන්ට පියවතී එක්කත් ආපහු සැරයක් කියන්න උනේ ගෙදෙට්ට ආපු අයට මෙච්චර වෙලාවක් කිය කිය හිටපු කතාවම.

” මහියංගනේ වැඩට ගිහින් ඉන්නැද්දි මුවෙක් මරන්ඩ හිතාගෙන කැලේට රිංගලා සතෙකුට බින්ද වෙඩිල්ලක් වැරදිලා මාත් එක්ක හිටපු මිනිහෙකුට වැදුනා. තුවක්කුවත් එක්කම පොලීසියට ඇන්න ගිහිල්ලා මාව උසාවි දාලා කූඩු කරව්වා. “

” ඒත් ඉතින් උඹලා කිසි කෙනෙකුට ඒක දැනුම්දෙන්න විදිහක් මට තිබුනෙ නෑ. “

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර සයිමන් මහියංගනේ පැත්තෙ සුදු මහත්තයෙක්ගෙ අලුතින් හදන හෝටලයක අත් උදව් දෙන්න ගියේ බිනරිවත් එතකොට අවුරුදු දෙකක් විතර වෙච්චි ඔහුගෙ දරු පැටියවත් ගෙදර තනියම දාලා. කුඹුරු පැහෙන්නත් තව කල් තියෙන එකේ කරන්න කියලා වැඩකුත් නැතිව නිකං ගෙදරට වෙලා හිටපු සයිමන් මහියංගනේ ගියේ මාසයක් හමාරක් වැඩ කරලා කීයක්හරි හොයාගෙන එන්නං කියලා.

එහෙ ගිහින් හිටපු එක දවසක හවස් වරුවෙ සයිමන් සුද්දගෙන් ඉල්ල ගත්තු තුවක්කුවකුත් අරගෙන යාලුවෙකුත් එක්ක කැලේට රිංගව්වෙ සතෙක් දඩයම් කරන්න කියලා හිතාගෙන. එහෙත් හදිසියේම මුවෙකුට තිබ්බ වෙඩිල්ලක් සයිමන්ගෙ අතින් වැරදිලා ගිහින් ඔහුත් එක්ක එකට දඩයමේ ගියපු යාලුවගෙ ඔලුවට වැදිලා ඔහු එතනම මැරිලා වැටුනෙන් සයිමන්ට සිද්ධඋනේ අවුරුදු දෙකකට බදුල්ලෙ හිරගෙදර ලගින්න.

සයිමන් ආගිය අතක් ගැන තොරතුරක් හොයාගන්නට බැරිව ගියපු ගමේ මිනිස්සු අන්තිමට හිතුවෙ සයිමන් මිය ගිහිල්ලා කියලා. කන්න බොන්නවත් දෙයක් නැතිව දරුවත් එක්ක තනිවෙලා හිටපු බිනරිට අන්තිමට පිහිට උනේ පියදාස. ලොකු කොලුවා සයිමන්ගෙ උනාට පියදාස ඌට කිසි වෙනස්කමක් කෙරුවෙ නෑ. තමන්ගෙම දරුවෙක් වගේ ඒකව බලාගත්තෙ. පියදාසට දාව උපන් දරුවන් දෙන්නත් එක්ක බිනරිට දැන් දරුවො තුන්දෙනෙක්. ඔය අතරෙදි තමයි හෙනයක් ගැහුවාක් වගේ සයිමන් ආපහු ගෙදරට පාත්උනේ.

” හිරේදි මං හැමදාම බැලුවා අඳුරන කව්රුවත් ඉන්නවද කියලා උඹලට පණිවිඩෙයක් දී ගන්න. කොහෙද ඒකත් හරිගියෙ නැහැ නෙව. “

” මෙහෙ වරෙං කොල්ලො මං ගාවට “

ඔහු අත දිගුකර කතා කෙරුවෙ තමන් දිහා කුතුහලයෙන් වගේ බලාගෙන ඉන්න තම දරුවට. එහෙත් සයිමන් ගමෙන් යනකොට යංතං දරුවට අවුරුදු දෙකක් විතර ඇති. ඒ නිසාදෝ සයිමන් තම පියා බව නොදත් බියපත් දරුවා ගේ ඇතුලට දිව ගිහින් බිනරිගෙ ඇඟේ එල්ලෙද්දී අනික් උන් දෙන්නද ඒ පස්සෙන්ම ගේ ඇතුලට දිවගියේ තම වැඩිමහල් සහෝදරයව අනුගමනය කරමින්.

ගේ ඇතුලට ගොඩඋනු පියවතී හීන්සීරුවේ කිට්ටුකලේ බිත්තියේ කෙලවරක බිම වාඩිවෙලා කඳුලු සලමින් ඉන්න බිනරි ගාවට.

” මොකද්ද කෙල්ලෙ දැන් මේකට කරන්නෙ “

*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*

එදා හැන්දෑවෙ බිනරියි සයිමනුයි පියදාසයි තුන්දෙනාම ගිහින් හිටියෙ ගමේ ආරච්චි මහත්තයාගෙ ගෙදර. කලුවර ලීයෙන් හදපු කවිච්චියට වෙලා දුම් පයිප්පෙ කටේ ගහගෙන ආරච්චිල ඔව්න් කියපු හැමදෙයක්ම අහගෙන හිටියෙ බොහොම උනන්දුවෙන්. ආරච්චිලගෙ වම් පැත්තෙ කෙලවරේ හිටගෙන හිටියෙ සයිමන්. මැද බිනරි . දකුනු පැත්තෙ පියදාස. බාලම දරුවා ඔහු වඩාගෙන හිටි අතර අනෙක් දෙදෙනා හිටියෙ ඔහුගේ සරොමෙ එල්ලලා.

” දැන් එතකොට සයිමා උඹ කියපං බලන්ඩ උඹගෙ අදහස මොකද්ද කියලා . “

ආරච්චිල ඇහුවෙ සයිමන්ගෙන්.

” ඒකි පියදාසට මනාප උනේ මං මලයි කියලා හිතාගෙනනෙ ආරච්චිල මහත්තයෝ. ඒක හන්දා ඒකිගෙ වරදක් නෑ.
මං ගෙදරින් යනකොට හිටියෙ එක දරුවා බව ඇත්ත. එහෙමෙයි කියලා මට උන් තුන්දෙනා ලොකු නෑ.
දරුවො තුන්දෙනාත් එක්ක මං කැමතියි බිනරිව ආපහු භාරගන්න. “

” එතකොට පියදාස උඹ මොකද මේ ගැන කියන්නෙ “

ඊගාවට ආරච්චිල ඇහුවෙ පියදාසගෙන්.

” මං බිනරිව සහේට ගත්තෙ සයිමන් මැරුනයි කියලා හිතාගෙන. ඒකි ගැන අනුකම්පාවෙන්.
දරුවො තුන්දෙනාම දැන් තාත්තා කියන්නෙ මට. මට උන් තුන්දෙනාව දාලා යන්න බෑ. “

ආරච්චිල පත්ව හිටියේ උභතෝකෝටික ප්‍රශ්නයක. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව කල්පනා කරමින් හිටපු ඔහු බැලුවෙ සයිමන්ටත් පියදාසටත් මැදිව තවමත් කඳුලු සලමින් අඬමින් ඉන්න බිනරි දිහා.

” මේක මට විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි බං.
මට වෙන කොරන්ඩ දෙයක් නෑ. මං මේ නඩුව දානවා ආන්ඩුවේ උසාවියට.
එහෙට ගිහිල්ලා උඹලා ඕන දෙයක් කරගනිල්ලා.

*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*

උසාවියේ බංකුවේ ඉස්සරහම පේලියේ දරුවො තුන් දෙනත් එක්ක වාඩිවෙලා හිටියෙ බිනරි. ඈට පිටිපස්සෙන් සයිමනුත් පියදාසත් වාඩිවෙලා හිටියෙ ඔව්නොව්න්ට සෑහෙන දුරකින්. තිහ හතලිහකට වැඩි ගමේ පිරිසක් එදා උසාවියේ රැස්වෙලා උනන්දුවෙන් බලාගෙන හිටියෙ බිනරිට උසාවියෙන් දෙන තීන්දුව මොකද්ද කියලා දැනගන්ඩ.

” උසාවිය නිෂ්ශබ්ද වනු “

නාඩුකාරතුමා ආපු විගස උසාවිය පුරාම පැවතුනේ සෑහෙන නිහඬබවක්. මුලින්ම විත්ති කූඩුවට ගොඩඋනේ සයිමන්.

” විත්තිකරු කියන්ඩ බලන්ඩ දැන් තමන්ට මොනවද මේ ගරු අධිකරණයට කියන්ඩ තියෙන්නෙ කියලා “

” ස්වාමීනි .. මේ ඉන්නෙ මගේ නීතයානූකූල ගෑණි. අර කොනේ ඉන්නෙ මගේ වැඩිමහල් කොල්ලා. “

සයිමන් අත දිගු කරලා පෙන්නුවේ බිනරිට හේත්තුවෙලා බංකුවේ වාඩිවෙලා ඉන්න තම වැඩිමහල් දරුවා දිහාට අත දිගු කර පෙන්වමින්.

” මම මහියංගනේ පැත්තෙ රස්සාවට ගිහිල්ලා වැරදීමකින් මයෙ අතින් මිනිහෙකුට වෙඩි වැදුනා.
ඒකෙන් මට අවුරුදු දෙකක් බදුල්ලෙ හිරගෙදර තපින්න උනා.
අන්තිමට මං මලයි කියලා හිතාගෙන තමයි ඒකි ඔය පියදාසත් එක්ක දීග කන්න පටන් අරන් තියෙන්නෙ.
ඒක ඉතින් ඒකිගෙ වරදක් නෙවෙයිනෙ. මං කැමතියි ආපහු ඒකිත් එක්ක පව්ල් කන්ඩ. දරුවො තුන් දෙනාම මං බලාගන්නං. “

හරස් ප්‍රශ්න අහලා දීර්ඝ කරුණු විමසීමකින් පස්සෙ සයිමන් විත්ති කූඩුවෙන් බැස්සා. ඔහු කියාපු කරුණු නිසාත් බිනරි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ නිසාත් මේ වනවිටත් නඩුවේ වැඩි වාසිය තිබුනේ ඔහුගෙ පැත්තට බවට ඒ වනවිටත් උසාවියේ හිටපු හැමෝටම තේරුම් ගොස් තිබුනා. ඊගාවට විත්ති කූඩුවට ගොඩඋනේ පියදාස. නඩුවෙන් ඔහුට අත්වෙන ඉරණම දැනටමත් ඔහුට තේරුම් ගොස් ඇති නිසාවෙන් බිම බලාගෙන හිටපු ඔහුගෙ මුහුනෙ පේන්නට තිබුනේ කනස්සල්ලක්.

” තමන්ට මොනවද මේ ගැන කියන්න තියෙන්නෙ. “

” ස්වාමීනි.. මං බිනරිත් එක්ක පව්ල් කෑවා තමයි. ඒ දරුවෙක් එක්ක තනිවෙලා හිටපු ඒකි ගැන තිබුනු අනුකම්පාවට. සයිමන් ජීවත් වෙලා ඉන්නවා කියලා දන්නවනං කීයටවත් මං එහෙම දෙයක් කරන්නෙ නෑ. “

පියදාසගේ හඬේ තිබුනෙ ශෝකාකූල පෙනුමක්.

” සයිමන්ට ආපහු බිනරිව දුන්නට කමක්නෑ…..

හැබැයි මට මගෙ දරුවො දෙන්නව ඕනෙ. උන් දෙන්නා නැතිව මට ඉන්න බෑ. “

මීයට පිම්බාක්මෙන් මුළු උසාවි භූමිය පුරාම තිබුනේ දැඩි නිහඬතාවයක්. හැමෝම කුතුහලයෙන් බලාගෙන හිටියෙ මොකකින් මොකක් වේදැයි හිතාගන්න බැරිව.

” තමන්ට ඉන්නෙ ගෑනු දරුවොද. පිරිමි දරුවොද. “

” කෙල්ලොම දෙන්නෙක් ස්වාමීනී. “

එයිනුත් අවාසිය සිද්ධඋනේ අසරණ පියදාසටමයි. සියල්ල පැහැදිලිය. දැන් ඇත්තේ තීන්දුව දීමට පමනයි.

” අවසාන වතාවට තමාට මේ ගැන මුකුත් කියන්න තියෙනවද “

තීන්දුව දීමට කලින් බිනරිව විත්ති කූඩුවට නංවපු නඩුකාරතුමා ඇහුවා. දෙලොවක් අතර අතරමංවෙලා ඉඳපු බිනරිගෙ ඇස්දෙකින් කඳුලු වැටෙන්න ගත්තෙ මොනව කියන්නද කියලා හිතාගන්න බැරිව. සයිමන් තමන්ට කිසිම අඩුවක් නොකර ආදරේ කල බව ඇත්ත. මින් ඉදිරියටද ඔහු වෙනසක් නොකර එසේම කරණු ඇත. එහෙත් තමන් අසරණ වෙලා ඉන්න වෙලාවෙ ඒ අසරණ කමින් අයුතු ප්‍රයෝජන නොගෙන තමන්වත් දරුවවත් ආදරයෙන් රැකබලා ගත්තු පියදාසවත් ඈ කෙසේනම් අමතක කරන්නද.

මිනිත්තුවක් විතර විත්ති කූවුවට වෙලා නිහඬවම කල්පනා කරමින් හිටපු ඈට ගනදෙවි නුවන පහල උනේ අන්තිම මොහොතේ.

” ස්වාමීනි .. මං තීන්දුවක් ගත්තා “

ඉදිකට්ටක් බිම වැටුනත් ඇහෙන තරමට නිශ්ශබ්ද උනු උසාවියේ හැමෝම කට ඇරගෙන බලාගෙන හිටියෙ ඈ කියන්න හදන්නෙ මොකද්ද කියලා. සයිමනුත් පියදාසත් වගේම එතන හිටපු හැමෝම ඈ දිහා බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්.

” ස්වාමීනි .. මගෙ දරුවො තුන්දෙනා තාත්තලා දෙන්නෙක්ගෙ බව ඇත්ත. හැබැයි උන් තුන්දෙනාගෙම අම්මා මම. උන්ව දෙපැත්තකට වෙන්කරන්ඩ මට බෑ. ඒකහන්දා සයිමන්වත් පියදාසවත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට ඕනැන්නෑ.
මට පුලුවන් උන් තුන්දෙනාම බලාගෙන තනියම ජීවත් වෙන්න.

උසාවිය පුරාම කසුකුසු නැගෙන්න ගත්තෙ ඇගේ කතාවෙන් පස්සෙ. හැමෝම පුදුමයෙන් බලාගෙන හිටියෙ නඩුකාරතුමා කියන්න යන්නෙ මොනවද කියලා.

” ඇගෙ ඉල්ලීමට උසාවිය ඉඩ දෙනවා. සයිමන්ටයි පියදාසටයි දවසක් ඇර දවසක් මාරුවෙන් මාරුවට බිනරිගෙ ගෙදරට ගිහින් දරුවන් බලලා එන්න අවසර දෙනවා. “

නඩුව අහන්න පැමින සිටි හැමෝම උසාවි ශාලාවෙන් එලියට ආවෙ සාධාරණ නඩු තීන්දුවක් ලැබීම පිළිඹඳ සංතෝසයෙන්. එහෙත් උසාවියේ කෙලවරේම බංකුවට වෙලා මේ හැමදෙයක්ම සාවදානයෙන් අහගෙන හිටපු බුරම්පි සීයා බලාගෙන හිටියෙ දරුවො තුන් දෙනත් අරගෙන උසාවි ශාලාවෙන් බැහැලා හිනාවෙවී එලියට යන බිනරි දිහා.
ඒ කාටවත් නොතේරුණු එක් දෙයක් ඔහුට තේරුම් ගියපු නිසා.

” අනේ හැබෑට. ගෑණුන්ගෙ මොලේ හැඳිමිටේ තරමට කියන්නෙ බොරුවට නෙව.
කොහොමද ඒකිගෙ මොලේ. එක ගලෙන් කුරුල්ලො දෙන්න්නයි. “


නිමි

අද කතාව කොහොමද ?
+1
5
+1
22
+1
5
+1
35
+1
2
+1
0
+1
2

6 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here