කෙටි කතාවක් – මනාලියක්

5
3594

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

මනාලියක්…

හරිහැටි නින්දක් නැතිව ගෙවුණු පෙරදා රාත්‍රීය, තමන් තනි යහනක ගෙවා දමන අවසන් රාත්‍රීය නේද කියලා හිතද්දී, නදුනිට දැනුනේ දුකක්ද, සතුටක්ද, බියක්ද කියලා විස්තර කරගන්න තරම් ඉස්පාසුවක් එවෙලේ ඇයට තිබුණේ නැහැ. මහා පාන්දර නැගිට ගත්තු හැමෝම පුදුමාකාර කලබලයකිනුයි උන්නේ. කාලයකට ඉස්සර තමන් මේ ගමන යන්න හීන දැක්ක විදියටම හැමදේම සිද්ධ නොවුනත්, නදුනිට අද සැනසීමෙන් අලුත් ජීවිතේට යන්න පුළුවන් බව නම් විශ්වාසයි. ඒත්,…………. ඒ දවස් වල හිතා උන්නු විදියටම හැමදේම සිද්ධ වුනා නම්……….
නදුනිගෙ හීන ලෝකෙ බිඳුනේ දුරකතනයේ කෑ ගැහිල්ලට. දුරකතන මුහුණතේ හිනාවීගෙන ඉන්න ඒ සන්සුන් මුහුණ දැක්කාම නදුනිගේ හිත නිවුණා.

“ගුඩ් මෝනිං කෙල්ලේ, තවම පාට උලන්න පටන් ගත්තේ නැද්ද?.”

වෙනදා වගේම ඔහු අහන්නේ සැහැල්ලුවෙන්. කොච්චර කලබලකාරී වෙලාවක වුනත් ඇයගෙ මුහුණට හිනාවක් ගේන විදිය, මේ ටික කාලෙට ඔහු කොහොම හොයාගත්තද මන්දා. ඇය ඔහුගේ ආසම දේත් ඒකම තමයි.

“අනේ යන්න හිරූ විහිළු නොකර. දැන් ඔන්න මම ලෑස්ති වෙලා ආපුහම එක, එක ඒවා කිය කිය අවුස්සනවා එහෙම නෙමෙයි.”

ඇය එහෙම කියන්නේත් බොරුවට. ඔහුගේ ඒ සුන්දර විහිළු වලට ඇය ආසයි. ඔහු ඒ විදියට ලඟින් ඉද්දී, ජීවිතය පහසුයි ඇයට.

“අද ඉඳන් ඔෆීෂියලිම මට ඔයාව අවුස්සන පර්මිෂන් හම්බුවෙනවනේ ඉතින්.
අන්දන කට්ටිය ඇවිල්ලා නදූ. මම දැන් රජාට අදින්නයි යන්නේ. ඔයත් එහෙනම් ඔය මූණෙ මොනවා හරි උලාගෙන ඉන්නකෝ. ඊට පස්සේ බැරියැ අපි දෙන්නට එන කට්ටියට බොරුවට හිනා වේවි, වැඳ වැඳ යන්න.”

ඔහුගෙ මේ කතා අහලා, ඇගෙ හිතේ තිබුණු තෝන්තු ගතිය කොහෙන් ගියාද කියලා හිතාගන්න බැහැ.

“හෙට ඉදන් දෙන්නට ඕනෑ තරම් කතා කරගන්න බැරියැ. අන්න කට්ටිය ඇවිල්ලා. ගිහින් ලෑස්ති වෙන්න.”

එහෙම කියාගෙන අක්කා කාමරයට එද්දී, නදුනි උන්නේ හිරුණ කියපු ඒවා මතක් කර කර හිනාවේවි.
———————————-🌸
යුවතියකගේ ජීවිතයේ ලස්සනම දවස, හීන හැබෑ වෙන දවස, පරපුරේ අභිමානය සංකේතවත් කරන දවස,
ඔය මොන විදියට සමාජය විසින් හැදින්වූවත්, අවංකවම මනාලියක් වෙන දවසේ, යුවතියක් කෙතරම් නම් පීඩනයක් එක්ක ගත කරනවද කියලා මේ ටික වෙලාවට නදුනිට හොඳටම තේරිලයි තිබුණේ. දවසේ ඉතිරි ටික කොහොම ගෙවාගන්න වෙයිද කියන හැඟීම ඇගේ හිතේ හැමතිස්සේම හොල්මන් කලා.

පුදුමාකාර වෙහෙසක්, කප්පරක් අපහසුතාවයන් එක්ක වුනත්, ඇය සුන්දර මනාලියක් විදියට හැඩවෙලා උන්නා. ඉවරයක් නැති විච්චූර්ණ ජාති ඇග පුරා තවරගෙන, තමන්ගේ පුංචි, කෙට්ටු ශරීරයට උහුලගන්න බැරි තරම් බරැති සාරියකින් සැරසිලා, ඊටත් වඩා බර ආභරණ ඇඟ පුරා එල්ලගෙන උන්නු ඇයට දැනුනේ තමන් හිරගේක හිරවෙලා ඉන්නවා වගේ හැඟීමක්. ඒත් අලුත් මනාලියගේ පාට තැවරූ දෑස් වලට යටින් තියෙන කතාව කියවාගන්නට කාටවත් වුවමනාවක් තිබුණේත් නැහැ. වෙනදට ඇයගේ පුංචිම හරි වෙනසක් වුනත් දකින හිරුණත්, එවෙලේ උන්නේ කලබලකාරී මනසකිනුයි.

උත්සවයට කලින් තිබුණු පින්තූර ගන්න වෙලාව නම් හිරුණගේත්, දෙවෙනි මනාලයන් වූ ඔහුටම ගැලපෙන මිතුරන් දෙදෙනාගේ කවටකම් එක්ක ටිකක් සැහැල්ලුවෙන් ගලාගෙන ගියා. හොඳ වෙලාවට නදුනිත්, හිරුණත් සෑහෙන්න විස්තර හොයලා, ඔවුන්ටම ගැලපෙන, මනාල ජෝඩුවට වදයක් වෙන්නේ නැති ජායාරූප ශිල්පියෙක් තෝරාගත් හින්දා පින්තූර ගන්න එකෙන් නම්, කරදරයක් වුනේම නැති තරම්.
———————————-🌸

කවදාවත් නොදාපු තරම් අඩි උස පාවහන් යුවල දාගෙන ඉදලා නදුනිට ඇති වෙලයි හිටියේ. ඒ මදිවට අන්දලා ඉවර වෙද්දීම අතට දුන්නු මල් කලඹ උස්සගෙන ඉන්න එක හිතන තරම් ලේසි වුනේත් නැහැ. හැම තිස්සේම එහෙන්, මෙහෙන් ෆොටෝ ගහන හින්දා, ඒක කොහෙන්වත් තියන්නත් බෑ. අතේම තියාගෙන ඉන්න කියලයි ඇයට උපදෙස් ලැබිලා තිබුණේ. ඒ මදිවට මල් කලඹේ පිටුපස තියෙන කම්බි කෑලි වලට වෙලාවකට අතත් හීරෙනවා.

හැමතිස්සේම අනිත් අයගේ අවධානය තමන් දිහාටම එල්ල වෙන හින්දා, නදුනිට ඇගේ ඇත්ත හැඟීම් යටපත් කරගෙන, බොරුවට හරි හිනාවෙලා ඉන්න වුනා. ඇගේ කන්කෙදිරිය අහන් ඉන්න හිරුණ ඉඳහිට විහිළුවක් කරලා, ඇයව සැහැල්ලු කලේ නැත්නම් දැන්, දැන් ඇඬෙයි කියලයි ඇයට හිතුනේ.

ඒ මදිවට උදේ ඉඳන්ම පුදුම තරම් බඩගින්නකින් ඇය උන්නේ. පෙරදා ගෙදර නෑදෑයින්ගෙන් පිරිලා තිබුණු කලබලයත් එක්ක, ඇයට හරිහැටියට රෑ කෑම ගන්න පුළුවන් වුනේ නැහැ නේද කියලා මතක් වුනේත් එවෙලේයි. මේ බව වෙනවා කියලා දැන, දැන ෆොටෝ ගන්න ගමන් කට්ටියටම කන්න පොඩි කෑමක් ලෑස්ති කලත්, ඒකත් භාරදීපු කෙනාගේ අතපසුවීමකින් වෙලාවට ලැබිලා තිබුණේ නැහැ.

අන්තිමේදී පෝරුවේ චාරිත්‍ර අතරතුරේදී දෙන්නට දෙන්නා කවාගත් කිරිබත් කෑලලෙන් බඩගින්න යන්තම් සමනය කර ගත් දෙන්නට, හිතේ හැටියට වෙඩින් කේක් කෑල්ලක් වත් කාගන්න හම්බුවුනේ නැහැ. හැමතිස්සේම අතොරක් නැති සුභ පැතුම්, සුහද කතාවන්, සමූහ ජායාරූප එක්ක කාලය වේගයෙන් ගතවෙමින් තිබුණා.
———————————-🌸

අමුත්තන්ට කතා කරමින් ශාලාව වටේ අමාරුවෙන් ඇවිදිමින් ඉන්න නදුනිගේ සාරි පොට ඇයටම පෑගිලා ඇය නොවැටී බේරුනේ අනූ නවයෙන්.
ඒ වෙලාවේ ඇගේ සාරියේ එල්ලිලා තිබුණු පබළු මල් දෙක, තුනක් ගැලවිලා ඈතට ගියේ හරි කලබලයෙන්.

බිම වැටුණු මල් වලම ඇහැ තියාගෙන ඒ පස්සෙන් ගියපු ඇය, ඒක ඇහිදගන්න පාත් වුණු තත්පරේම එතැනට ආපු වෙන කෙනෙක් නැවිලා මල් ටික අතට ගත්තා. ඇය ඔහු දිහාට අත පෑවෙ, ඒ මල් ටික ඊලඟ මොහොතේ තමන්ගේ අතට පත් වේවි කියලා හිතාගෙනයි. ඒත් නොහිතූ විදියට, ඔහු ඒ ටික සාක්කුවට දාගද්දියි ඇයට මේ කවුද කියලා බලන්න මතක් වුනෙත්. ගණනය කර ගන්නට අසීරු වුනු නිමේෂයක එකිනෙක පැටලුනු ඒ දෑස් ඉස්සර වගේම වචන වලින් නොකියපු දිග කතාවක් හුවමාරු කර ගත්තා. ඔහුගේ සුසුම් හඬ ඇවිත් නතර වුනේ ඇයගෙ හදවතේ හංගාපු කෙලවරකයි.

ගෙවා ගන්නට අසීරු වුනු තත්පර කිහිපයකදී අතීතයට ගියපු නදුනි, අක්කා ලඟට ඇවිත් කතා කරද්දීයි පියවි ලෝකයට ආවේ. අතීතයේ සිද්ධ වුනු හැමදේම අකුරක් නෑර දැනන් උන්නු තම එකම සහෝදරිය, ගෙවුණු තත්පර කිහිපයේ වෙච්චි දේවලුත් හොඳාකාරවම දැක ගත්තු වග ඇයට තේරුණා.

“චූටි මේ ඔයාගෙ වෙඩින් එක. මනමාලයා හිරුණ. නැතිව වෙන කවුරුත් නෙවෙයි.”

අක්කා ඒ ටික කිව්වේ හරිම හිමින් වුනත්, කවදාකවත් නැති තරමට තද ස්වරයක් ඒ හඬේ තිබුණා.
එතනින් එහාට ඇගේ හදවතේ, අතීත මතක කුටි වල දොරගුළු ඇය තදින්ම වහලා දැම්මත්, යතුර පරිස්සමින් ඇය ලඟ තිබුණා.
———————————–🌸

දවසේ ඉතිරිය වැඩි හරියක්ම ගෙවුණේ, හිරුණ කිව්වා වගේ බොරුවට මවාගෙන හැමෝම එක්ක හිනා වෙන්නයි, දවසක් හරි වයසින් වැඩි අයට වැඳ, වැඳ යන්නයි.

මාස ගාණක් පුරාවට, උදේ රෑ නැතිව සැලසුම් කරපු, ඒත් හිතාගන්න වත් බැරි තරම් වේගෙකින් ගෙවිලා ගියපු වෙහෙසකරම පැය කීපය නොදැනීම අවසානයට ඇවිත්.
යුවතියකට ජීවිතයේ එක් වරක් අනිවාර්යයෙන්ම දරාගන්නට වෙන, ඒ වගේම ඇයට පහසුවෙන් දරාගන්නත් බැරි මොහොත අද්දරට නදුනිත් ඒ මොහොතේ ඇවිල්ල‍යි උන්නේ. අවුරුදු විසි හයක් තිස්සේ එකම රිද්මයකට හුස්ම වැටුණු ජීවිත තුනක් වටෙයි, ඇගෙ ලෝකය කරකැවුනේ.
පහුගිය දවස් වල වැඩියෙන්ම හිතේ පෙරලි කරපු හැඟීම, මහ හුඟක් බරට ඇයට දැනෙන්නට ගත්තේ දැනුයි. මේ විදියට ඇය ගෙදරින් ඈත් වෙලා යන එක, අම්මාත්, තාත්තාත්, අක්කාත් කොහොම දරාගනීවිද කියලයි නදුනි කොච්චරවත් හිතුවේ. මීට අවුරුදු දෙකකට කලින් අක්කාත් මෙවැනිම ගමනක ගියත්, ඇය, ඇගේ සැමියාත් එක්ක මහ ගෙදර ආසන්නයේම පදිංචි වුනු හින්දා ඒක අම්මටත්, තාත්තාටත් එතරම්ම දැනුනේ නැහැ. අනික එවෙලේ නදුනිත් ඒ දෙන්නගේ ලඟින්ම හිටියා. ඒත් අද ඇය මේ යන්නට ආරම්භ කරන ගමන කෙලවර වෙන්නේ මේ ජීවිත වලින් ගව් ගාණක් ඈතට ගිහිල්ලයි. තවත් මාසයකින් හිරුණත් එක්ක උපන් රට හැරදාලා යන්නත් සියල්ල ඒ වෙද්දී සූදානම් වෙලයි තිබුණේ.

අවසානයේ එකිනෙකා, අනෙකාගෙන් හංඟාගන්න අපහසු උත්සහයක යෙදුනු හතර දෙනාගේම කදුළුත් එක්ක මුහු වුනු හැමෝගෙම හිත් පතුලෙන්ම උපන් ආදරණීයම ආශිර්වාදයත් එක්කයි නදුනි, හිරුණත් එක්ක ඔවුන්ගේම ලෝකයක් හොයාගෙන පිටත් වුනේ.
———————————-🌸

උදේ පාන්දර ඉඳන් පුදුමාකාර අපහසුතාවයකින් ඇඟලාගෙන උන්නු ඇඳුම්, ආයිත්තම් එකින්, එක ගලවලා ඉවත් කරද්දී, නදුනිට දැනුනේ ඇය ටිකෙන් ටික සැහැල්ලු වෙනවා වගෙයි. ඇයට ඒ දේවලට හිරුණ කැමැත්තෙන්ම උදව් කරද්දී, ජීවිතයේ ඉදිරියේදී උදාවෙන හැම අසීරු අවස්ථාවකදීම ඔහු මේ විදියට ඇගේ ලඟින්ම ඉදීවි කියලා නදුනිට එවේලේ හිතුනා.

උදේ ඉඳන්ම ඇයට කරදරයක් වුනු සියල්ල අයින් කරලා, සීතල වතුර ටිකක් ඇඟට දාගත්තට පස්සේයි නදුනිට සැනසිල්ලක් දැනුනේ. ඔවුන් දෙදෙනා ජීවිතේ ලස්සනම දවස ගත කරන්න, ආවේ කොයිතරම් සුන්දර තැනකටද කියලා නදුනිට දැනුනේ ඇය සම්පූර්ණයෙන්ම සැහැල්ලු වුනාට පස්සේයි. ඇය කාමරයේ බැල්කනියට වෙලා එතැන සුන්දරත්වය, විඳ ගනිමින් ඉද්දීයි හිරුණත් සැහැල්ලු වෙලා ඇය ලඟට ආවේ.

“මොකෝ කෙල්ල ලොකු කල්පනාවක වගේ?”.

“මං මේ කල්පනා කලේ දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න එපැයි කියලා.”
ඇය ඒ ටික නම් කිව්වේ විහිළුවට වගෙයි. ඒත් අද දහවල් වුන සිද්ධියෙන් ඇය අමාරුවෙන් හදන් උන්නු හිත ආයෙත් ටිකක් විසිරිලයි තිබුණේ.

“නදූ, ඔයාවත් මමවත් මේ බැඳීම ඇතුළේ හිර වෙන්න ඕනේ නැහැ කියලා, මම හැමදාමත් ඔයාට කිව්වනේ.
දැන් බලන්න අද අපි දෙන්නා ලෝකෙට පේන්න, අනිත් අයට ඕනේ දේවල් කරන්න ගිහින්, කොච්චර නම් වදයක් වින්දද කියලා. ඒකම අපි දෙන්නට ජීවිතේ ඉස්සරහට අරන් යන්න හොඳ පාඩමක්.”

හැමදාමත් සැහැල්ලුවෙන්ම ජීවිතය දිහා බලන හිරුණ මේ විදියට ගැඹුරු දේවල් කතා කරන්න ගත්තේ, තමන් අතින් වැරදි දෙයක් කියවුණා වත්ද කියලයි ඇයට හිතුනේ. ඒත් එක්කම උත්සවයේදී ඇගෙ හිත සසල කල සිද්ධිය ඔහු දැක්කද කියලා ඇයට සැකයකුත් ආවා. ඒත් මේ ලස්සන හැන්දෑව පරණ දේවල් ආයේ ඇදගෙන අඳුරු කර ගන්න, ඇය අකමැති වුනා.

මොකුත්ම නොකියා ඇය නිහඬව බලන් උන්නු හින්දා ඔහුම ආයෙත් දොඩමළු වුනා.

” මම දන්නවා ඔයාට හිතන තරම් ලේසියෙන් හැමදේම අමතක කරලා, අලුත් ජීවිතේට පුරුදු වෙන්න අමාරුයි කියලා. ඇති තරම් කල් ගන්න නදූ. අනිත් අයගෙ වුවමනාවටයි, රට යන ගමන හින්දයි අපි කලබලේ වෙඩින් එක ගත්තට එහෙම හදිස්සියේ ජීවිතේ පටන් ගන්න ඕනෑ නැහැනේ.”

මේ තරමට තමන්ව තේරුම් ගත්, පොඩ්ඩක්වත් වදයක් නොවෙන, සැහැල්ලු බැඳීමකට ඇයව කැන්දාගෙන යන ඔහුට මුළු හදින්ම ආදරය කරන්නට වෙන කිසිවක් වුවමනා නැති වග හොඳින්ම අවබෝධ කර ගත් නදුනි ඔහුගේ උරහිසට බරවුණේ ජීවිතේම බර ඒ උර මත තබන්නා වාගෙයි.

සමාප්තයි……………….

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
9
+1
109
+1
9
+1
2
+1
2
+1
5
+1
8

5 COMMENTS

  1. Hi there! I realize this is somewhat off-topic
    but I had to ask. Does building a well-established blog such as yours take a massive amount work?
    I’m completely new to blogging however I do write in my journal daily.
    I’d like to start a blog so I can easily share my personal experience and feelings online.

    Please let me know if you have any kind of suggestions or tips for brand new aspiring blog
    owners. Appreciate it! asmr 0mniartist

  2. Just want to say your article is as astonishing. The clarity
    in your post is just spectacular and i could assume you’re an expert
    on this subject. Fine with your permission allow me to
    grab your RSS feed to keep up to date with forthcoming post.
    Thanks a million and please keep up the gratifying
    work. asmr 0mniartist

  3. Its like you read my mind! You seem to know a lot approximately
    this, like you wrote the ebook in it or something.
    I think that you simply can do with a few % to pressure the message house a little bit, however instead of that, this
    is excellent blog. A great read. I will certainly be back.
    asmr 0mniartist

  4. I don’t even know how I ended up here, but I thought this post was good.
    I don’t know who you are but certainly you are going to a famous blogger if you aren’t already 😉 Cheers!
    0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here