කෙටි කතාව – වසන්ත ආදරයක්

5
2587

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

වසන්ත ආදරයක්.

“මම කසාද බැන්දා සාගර…”

ශාලීනීට මා අසළට පැමිණ එලෙස කියන්නට හිතේ තිබුණාවූ ශක්තිය ගැන මම පුදුම වීමී. ඔව්.අප දැන් එදා සිටි පෙම්වතුන් නොවේ.ඇය වෙන අයකුගේ බිරිඳකි.එහෙත් මා…මා තවම පරාජිත ප්‍රේමවන්තයාමය.

“ශාලූ…”

ඇයට අමතන්නට සිතෙන්නේ එලෙස වුවත් එලෙස ඇමතීම මා හට තවදුරටත් අයිති නැතිබවක් හැඟුණු හෙයින් වහා එලෙස කීම නවත්වා ගතිමි.

” ශාලිනී…කොහොමද ඉතින් ජීවිතේ…?

අමාරුවෙන් වුවත් මම වචන ගළපා ගතිමි.

” හොඳයි ඉතින්.වරදක් නෑ සාගර.මමත් හිතුවේ මුලදි අමාරුවේවී කියලා .ඒත් සෙනේශ් මාව තේරුම්ගත්තා .දැන් ඉතින් හැමදේම සාමාන්‍යයයි.”

” ඒත් මං තාම සාමාන්‍ය වෙලා නෑ ශාලූ…”

එලෙස කියන්නට මගේ සිත මොරදෙයි. එහෙත් මම මාවම නවතා ගතිමි.සියල්ල සිදුවී දැන් වසර දෙකක් පමණ ගතවී ඇත.අතීතය තවම මා අබියසින් නික්ම ගොස් නැත.

………………………………………………………….

ශාලිනී…ශාලීනීත් මමත් පෙම්වතුන් වූවේ පාසල් සමයේ සිටය.එය කෙසේ වූවාදැයි අදටත් මට පුදුමයකි.මා අදටත් කැමති ඒ කාලයටයි.කොන්ඩා කරල් දෙකක් ගොතා , යෙහෙළියන් සමඟ සිනාසෙමින් පාසලට පැමිණි ඇය හා මම සිටියේ එකම පන්තියේය.අප දෙදෙනාට දෙදෙනා යම් ආකර්ෂණීය බැඳීමකින් බැඳුනේ නොසිතූ ලෙසය.අප දෙදෙනාම සාහිත්‍ය සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයන් වූවේ ඒ අතරය.

“ලස්සනයි නිසදැස…”

ඇය මා ලියූ නිසදැස් අගයන්නීය.

” ඇයි ඔයාගෙත් ලස්සනයිනේ.”

” ඒත් සාගරගේ නිසදැස් තරම්නම් ලස්සන නෑ…”

” බොරු…”

” නෑ ඇත්තමයි.”

එවන් කතා බොහොමයක් අප අතර විය.ඒවා වැඩිහරියක් වූවේ සාහිත්‍ය සමිතියේ වැඩ අතරතුරය.

” මං ඔයාට ගොඩක් කැමතියි ශාලිනී… “

” ඇයි මාත් …”

” ඔයා ඉස්කෝලේ එන්නැති දවසට මට ගොඩක් පාලුයි ශාලිනී…”

” ඇයි මටත් එහෙමයි.”

” ඇයි ඒ ?”

” අනේ මන්දා…”

ඒවා බොහෝ ප්‍රේමවන්තයන් මෙන් අප අතරද වුණු බොළඳ කතාය.ඒත් ඒවා අද ජිවිතේ සුන්දරම මතකයන් වී හමාරය.

පාසලෙන් නික්මෙන විට අප ප්‍රේමවන්තයන් වී හමාරය.ශාලිනී මගේ ජිවිතේ විය.ඇයගේ ප්‍රේමයද මට නොඅඩුව හිමිවිය.

“ජීවිතේ හරි පුදුමයි නේද සාගර…අහම්බෙන් වගේ අපි හම්බවුනේ.ඉස්කෝලේ තමයි අපිව මුණගැස්සුවේ.ඒ කාලේ කොච්චර ලස්සනද… අපේ මතක කොච්චර නම් ඉස්කෝලෙ තියෙනවද…ඒත් මට බයයි සාගර.අපේ ගෙවල් දෙකේ අය මේකට කැමති වෙයිද කියලා …”

ඇයට තිබූ සැකය මටද එලෙස විය.

ප්‍රේමයේ රසමුසු තැන් බොහොමයක් අපි බොහෝ තැන්වල වින්දෙමු.අප ඒ කාලයේම නතරවුණානම්….එහෙත් අපට ඉදිරියට යාමට සිදුවිය.ඒ බොහෝ බාධක පිරි ඉදිරියකි.කරුමයක්ද කුමක්ද නොදනී. මගේ දෙමව්පියෝත්,ඇගේ දෙමව්පියෝත් අපේ සම්බන්ධයට කිසිදු කැමැත්තක් දැක්වූවේ නැත.කුලය,වත්කම් ආදී විවිධ ප්‍රශ්නත්, අතීතයේ ඔවුන් අතරවූ හිත් අමනාපකමකුත් එයට හේතූවිය.

“සාගර…අපි මොකක්ද කරන්නේ දැන් මේකට…මට…මට කිසි දෙයක් හිතාගන්න බෑ.”

මාද සිටියේ කිසිවක් සිතාගත නොහැකිවමය. ශාලිනිගෙන් තොර ජිවිතයක් පිළිබඳ මා සිතා තිබුනේ නැත.එහෙත් මටවත් ශාලීනීටවත් අපගේ දෙමව්පියන්ගේ සිත් රිදවීමට හැකියාවක් හෝ අවස්ථාවක් තිබුනේ නැත.

” සාගර…මට සමාවෙන්න…”

ශාලීනීත් මමත් ප්‍රේමවන්තයන් ලෙස හමුවූ අවසාන අවස්ථාව එය විය.ඇය එසේ කීවේ ඇයගේත් සෙනේශ්ගේත් මංගල කාඩ්පත මා අත තබාය.මගේ මුවින් කිසිදු වචනයක් පිටවූවේ නැත.ශාලිනීද වෙනත් කිසිවක් කීවේ නැත.වාඩිවී හුන් බංකුවේම සිට එතෙක් පහළට යොමුව තිබූ මාගේ ඇස් මා ඉහළට ගතිමි.ශාලීනී ඈතින් ඇවිද උද්‍යානයෙන් පිටතට යනු මම දුටුවෙමි.

ඇයගේ විවාහය වූවාද නොවූවාද කියාවත් මා සෙව්වේ නැත.එතැන් සිට මා උත්සාහ කළේ ශාලීනීව මගේ සිතින්ද පිටමන් කිරීමටය.එය සිතුවාට වඩා පහසු නොවීය.අවසානයේ මම ඒ තැත අත් හැරියෙමි.

……………………………………………………….

අතීතය එසේය.

” මම කසාද බැන්දා සාගර…”

දිනක් අහම්බෙන් ඇය මා අසළට පැමිණ එය කීවේ මන්දැයි මට වැටහුනේ නැත.මා අතීතයට රැගෙන ගියේද ඇගේ ඒ අනපේක්ෂිත හමුවීමය.

” සාගර…මොනවද ඔය තරම් කල්පනා කරන්නේ…”

ඇය ඇසුවේ මගේ නිහඬකම නිසාය.මම මුකුත් නොකියා මඳ ලෙස සිනාසුනෙමි. ඇයටද සමහරවිට මගේ සිතැඟි වැටහෙන්නට ඇත.

” ආ …ටිකක් ඉන්නකෝ…”

ඇය අසළ සුපිරි වෙළඳසැලේ සිට එළියට බැසි අයෙකුගේ අතින් අල්ලාගෙන මා අසළට පැමිණියාය.

” සෙනේශ්…මේ සාගර.මං ඔයාට කිව්වේ.”

ඇය ඉතා සැහැල්ලුවෙන් මාව ඇයගේ සැමියාට හඳුන්වාදුන්නාය.

” සාගර…හමුවීම සතුටක්.ඔයා ගැන ගොඩක් දේ අහලා තිබුණට දැක්කේ අදනේ.”

සෙනේශ්ද කතාකලේ සන්සුන් විලාසයකිනි.
මමද ඔහුට මඳ සිනහවක් පා අතට අත දුන්නේ ශාලිනී දෙසද බලමිනි.’ඇය අප අතර වූ සියල්ල ඔහුට කියා ඇත්ද…’ මාගේ සිතෙහි වූවේ එම පැණයයි.සෙනේශ් මිත්‍රශීලී අයෙකි.

” ආ සාගර…හෙට අපේ ගෙදර පොඩි පාර්ටියක් තියෙනවා .මට ප්‍රමෝෂන් එකක් ලැබුනනේ.”

” මගේ සුබ පැතුම් ..”

“සුබ පතලා විතරක් නම් මදියි නේද ශාලිනී.
හෙට අනිවාර්යයෙන් පාර්ටි එකට එන්න ඕන.”

“ඒත් මේ…”

මා දැන් ඔවුන් දෙදෙනා ඉදිරිපස සිටියේද බොහෝ අපහසුවෙනි.හෙට පාර්ටියට ගියද මට සිටින්නට වන්නේ එසේමය.

” ඔන්න බෑ කියන්නනම් එපා සාගර.ශාලිනි.. ඔයාවත් කියන්නකෝ…”

සෙනේශ් නොදැන වුව රිද්දන්නේ මගේ සිතටය.ශාලිනීද එසේමය.

” සාගර…එන්නකෝ…”

ඇයගේ පෙර දඟකාර බැල්ම තවම එසේමය.

ඔව්.මම පසුවදා රාත්‍රියේ ශාලිනිගේත් සෙනේශ්ගෙත් කැදැල්ලට ගියෙමි.ශාලිනී එදා මෙන් අදත් පියකරුය.තද නිල් පැහැ දිගු ගවුමට ඇගේ සුන්දරත්වය වඩාත් කැපුඉ පෙනිනි.සෙනේශ් මා හා හැසිරුනේ අවුරුදු ගණනාවක් දන්නා හඳුන්න මිතුරෙක් සමඟ මෙනි.ශාලිනිද හැසිරුනේ ඇයත් මමත් පෙම් කළ සමයය.යමක් සිදුවන බවට මගේ හිතට පළමු වරට අමුත්තක් දැනුනේ එදාය.

ශාලිනීත් සෙනේශුත් හොඳ විවාහක යුවලක් ලෙස බොහෝ මිතුරන් වර්ණනා කරනු එදින මාගේ දෙසවනට වැටිණ.මම ඔවුන් දෙදෙනා දෙස බැලුවෙමි.සෙනේශ් තරමක් මත්ව සිටි නිසා ශාලිනීට එළිපිට වැඩි ලෙස ආදරය දැක්වූවේය.ශාලිනීගේ මුහුණේ වූවේද සතුටකි.

සෙනෙශ් මධුවිතෙන් මත්ව මිතුරන් හා විනෝද වෙමින් සිටියේය.මා මධුවිත කිසි දිනෙක නොගන්නා නිසා අයිනක වූ මේසයකට වී සිටියේ මෙයින් පිටවන්නේ කීයටදැයි සිතමිනි.

” සාගර…”

මා කල්පනාවෙන් මිදුනේ ඒ හඬටය.මා පසුපසින් සිටියේ ශාලිනීය.

” මොනවද සාගර ඔයා ඔයතරම් කල්පනා කරන්නේ…”

” මුකුත් නෑ ශාලිනී.මං මේ යන්න කියලා බැලුවේ ..”

එසේ කියමින්ම මම වාඩිවී හුන් තැනින් නැගිට්ටෙමි.

” ඒත් …ඇයි ඉක්මනටම…”

ශාලිනිගේ හැසිරීම මට එදින මහ පුදුමයක් විය .එය විටින් විට වෙනස් වන සුලුය.මම සෙනේශ් වෙත ගොස් සමුගත්තෙමි.ශාලිනීද ඒ මොහතේ එතනට පැමිණීම මට පහසුවක් විය.දෙදෙනාගෙන්ම සමුගත් මම ඉක්මනින් මාගේ මෝටර් රථය වෙත ගියෙමි.කාරයේ දොර හරිත්ම පිටුපසුන් කවුදෝ පැමිණ මා බදාගත්තේය.ඒ සුවඳ මට නුපුරුදු නොවේ. ශාලිනී…ඒ ඇය විය.සිහි එළවා ගැනීමට මටද මොහතක් ගතවිය.මම වහා ශාලිනීව ඈත් කළෙමි.

” ඔයාට පිස්සුද ශාලිනී…මොනවද මේ කරන විකාර…?”

සැබැවින්ම මගේ සිතේ ඇය පිළිබඳ වූවේ තරහකි.ශාලිනී මා දෙසම බලා සිටියාය.

” සාගර…මට ඔයාව අමතක කරන්න බැරිවුණා සාගර…”

ඇගේ දෙනෙත්වල කඳුලු පිරි තිබිණි.ඇයව මා අසළට ගන්නට සිත් වුවත් මා අසීරුවෙන් වුව එය මැඩ ගතිමි.

” ශාලිනී…මොනවද මේ කියවන විකාර… ඔයා දැන් කසාද බැදපු කෙනෙක් .අනික සෙනේශ් …එයා කොච්චර හොඳ කෙනෙක්ද…”

” සාගර …ඔයා මොනවා දන්නේ මගේ ජීවිතේ ගැන…මං දන්නවා.මාත් වැරදියි.මාත් ඔයාට ලොකු දුකක් දුන්නා.ඒත්…ඒත්…මට ඔයත් එක්ක නිදහසේ මේ ගැන කතා කරන්න ඕන සාගර…”

” ශාලිනී…මොනවද මේ කියවන්නේ… මේ..සෙනේශ්…”

” සෙනේශ් ලබන සතියේ ඇමරිකා යනවා ඔෆිස් එකේ වැඩකට.ඒ නිසා ලබන සතියේ සෙනසුරාදා …ඉස්සර පුරුදු තැන…පුරුදු වෙලාවට…සාගර ඔයා එන්නම ඕන… ඔයාට බෑ නෑවිත් ඉන්න.”

මා කිසිවක් කීමට පෙර ශාලිනී දිව ගියාය.
ඊළඟ සෙනසුරාදා වනතෙක් මා සිටියේ කොහේදෝ තැනක අතරමං වූවෙක් මෙනි.
කුමක් කරම්දෝයි සිතාගත නොහැකි තරමට මගේ සිත නොසන්සුන් වී තිබිණි.වරෙක ඇය විවාහක බවත්,තවත් විටෙක ඇගේ ඇස රැඳි කදුලුත්,තවත් විටෙක ඇය දුන් ප්‍රේමයත් අතර මා සිත විය .

සෙනසුරාදා උදයේ පෙර මමත් ශාලිනීත් සෙනසුරාදා දින හමුවූ බොහෝ දෙනාගේ ඇස නොගැටුණු ,එහෙත් අප නිතර රහසින් හමුවුණු ‘ගැමි සුවඳ ‘ අවන්හල වෙත සුපුරුදු වෙලාව වූ උදෑසන නමයට ගියෙමි.

” මහත්තයා ….කොච්චර කාලෙකට පස්සෙද..”

අවන්හල් හිමියා ඇසුවේ මා අවන්හලට ඇතුල් වනවිටම සුපුරුදු සිනාවෙන්මය.
අවන්හලට ඇතුලුවත්ම මගේ සිත පෙර ශාලිනී හා සිටි ප්‍රේමවන්තයා මෙන් පිරි තිබිණ.

“අවරුදු දෙකයි මාස තුනයි දවස් හතකට පස්සේ..ඉතින් කොහොමද සෝමපාල මහත්තයා … “

මා පෙරසිටම ඔහුට කොහොමත් ලැදිය.
අපේ ජිවිතවලවූ වෙනස්කම් නගරයෙන් ඈත්ව ගමක සිටි ඔහු දන්නේ නැත.

” අපි නම් හොඳින් මහත්තයා ..අපි මහත්තයවයි නෝනවයි මේ ළඟදිත් මතක් කරා..”

අවසන් වරට ප්‍රේමවන්තයන් ලෙස මමත් ශාලිනීත් හමුවී වෙන්වුවේ මේ අවන්හලේදීය.අවන්හල පිටුපස සාදා ඇති බැල්කනියට වී අප බොහෝ දේ කතා කරන්නට ඇත.අපේ ලස්සනම මතක ගොන්නක් මේ අවන්හල හා බැඳී ඇත.

අවන්හල තවමත් එලෙසමය.අප සෑමදිනකම අසුන්ගත් ස්ථානය,බැල්කනිය සියල්ල එලෙසමය.එහෙත් අප අසුන්ගත් ස්ථානයේ වෙනත් ආදරවන්තයන් යුවලක් කතාබහක යෙදී සිටිනු මගේ දෑසට හසුවිය.
පුරුදු බැල්කනියේ කිසිවෙක් නොසිටි නිසා මම එතනට ගොස් ඈතට විහිදෙන ගස් පෙළ දෙස බලාසිටියෙමි.

” මං දැනන් හිටියා ඔයා ඒවී කියලා සාගර…”

ශාලිනී පැමිණ සිටියාය.ඇය ඇද සිටියේ අප වෙන්වූ දින ඇදසිටි කහ පැහැති මා වඩාත් ප්‍රිය කළ ඇගේ දිගු ගවුමයි.අතීතයේදී නම් මා ඈ ලස්සන බව කියා ඇගේ රතුවන මුහුණ දෙස බලාසිටින්නේය.එහෙත් අද…අද මම මාවම වළක්වා ගනු ඇත.

” අපේ තැන කවුද අල්ලගෙන නේද සාගර …”

ශාලිනී ඇසුවේ පුරුදු ස්ථානය දෙස බලාය.

” හ්ම්..ඉස්සර වගේ හැමදේම දැන් වෙන්නේ නෑ ශාලිනී…”

මම ඇය දෙස බැලුවෙමි.

” ඇයි මට එන්න කිව්වේ ශාලිනී…”

” සාගර…ඉස්සර වගේ කතා කරන්නකෝ…”

“ශාලිනී…?”

” ඔයා ඉස්සර වගේ මට කතා කරනකම් මං මුකුත් කියන්නේ නෑ…”

ශාලිනී මුරණ්ඩු ලෙස එලෙස කියා අනික් අතක් බලා ගත්තාය.මට ඇය කියන්නට යන දේ අසාගත යුතුමය.

” ශාලූ…”
අවසානයේ මම ඈ ඇමතුවෙමි.

” ඒ තමයි මං දන්න සාගර…හරි..මං කියන්නම්…සාගර ..මං සෙනේශ්ව බැන්දා.. ඒක හරි .එයා ගොඩක් හොඳ කෙනෙක්. ඒකත් හරි .ඔයා හිතනවද ඉතින් මං සතුටින් කියලා ….?”

ඇය ඇසුවේ මා දෙසට හැරීය.මට දීමට පිළිතුරක් නොවීය.

” ඔව්..ඔයා දන්නේ නෑනේ.අපි ආදරේ කරා. ගොඩක් කල්.අපි ආශ්‍රය කරා.ඉස්කෝලේ කාලේ ඉඳන්ම.ඇත්තටම ..මං කසාද බැන්දේ ගෙදර අයගේ බල කිරිල්ලට..ඒත්..ඒත් මං හිතුවා..මං ප්‍රාර්ථනා කරා අන්තිම මොහතේ හරි ඔයා ඇවිල්ලා මාව අරන් යයි කියලා .. මං..මං බලන් හිටියා සාගර…”

මම ඇගෙන් එවන් කතාවක් බලාපොරොත්තු නොවුනෙමි.ඇගේ ඇස්වල යම් වේදනාවක් පිරී තිබිණි.අප පෙර සිටම තීරණය කර තිබුණේ දෙමාපිය අවසරය නැතුව කිසිවක් නොකරන බවටයි.මා ඇගේ විවාහය සැල වූ වහාම සිතට ආ කිසිවක් නොකළේ ඒ නිසාමය.එහෙත් …

” ශාලූ…”
මට එසේ කියවිණ.

” ඔව් සාගර.මට කිසිම දේකින් අඩුවක් නෑ. සෙනේශ් මාව හොඳට බලාගන්නවා. ඉල්ලන ඕන දෙයක් දෙනවා.ඒත්..මට මගේ ජිවීතේ ලොකු අඩුවක් දැනෙනවා සාගර.මට කවදාවත් බඳින්න ඉස්සර මං විඳපු සතුට මට දැනිලා නෑ…මට..මට මගේ ජිවිතේ ලොකු හිස්බවක් දැනෙනවා…
මට මේවා කාටවත් කියන්න බෑ..කියන්න කෙනෙකුත් නෑ.”

ශාලිනීට කුමක් කියන්නදැයි එකවර මට සිතාගත නොහැකිවිය.මා සිතමින් සිටියේ අප මෙසේ හමුවූ එකම,එයත් ඇයගේ සැමියා මෙරට නොමැති මොහතක හමුවූ එකම වැරැද්දක් බවය.

” ඔයා හිතනවා වැඩියි ශාලිනී…සෙනේශ් හොඳ කෙනෙක් .ඔයත් සෙනේශ් ගැන හිතන්න ගන්න…එතකොට ඔය අනිත් විකාර අමතක වේවී…අපි යන් දැන්.”

මට වුවමනා වූවේ ඉක්මනින් එතනින් යාමටය.

” අනේ සාගර ටිකක් ඉන්නකෝ..මට අපේ අර ටේබල් එකේ වාඩිවෙන්නැතුව යන්න නම් බෑ..”

ඇය දිගින් දිගටම මුරණ්ඩු වූවාය.මට ඇය නැවතීමට නොහැකිවිය.ඇය එතනින් පිටවූවේ අපේ පුරුදු මේසෙයේ හුන් ආදරවන්තයන් යුවල යනකම් සිට එහි මොහතක් මා සමඟ වාඩිවීමෙන් අනතුරුවය.

………………………………………………………..

එදා ශාලිනීව හමුව නිවසට පැමිණි මොහතේ සිට මා සිටියේ තෝන්තුවාවෙන් මෙනි.ශාලිනී හමුවට යාම මට දැනුනේ මහා වරදක් ලෙසය.මම ඇය පිළිබඳ නොසිතා සිටින්නට වෑයම් කළෙමි.

මා සිතුවේ ශාලිනී එයින් නතරවේය කියාය.
ඒ සිදුවීමෙන් මසකට පමණ පසු ඇය යළි මා ඇමතුවාය.

“සාගර…මට ඔයාව හම්බවෙන්න ඕන..”

” ශාලිනී…මොකක්ද මේකේ තේරුම..”

“සාගර…ඔයා එන්නම ඕන..”

” මොකටද ?”

“ආවම කියන්නම්.හරියටම හෙට නමයට. අපේ ලස්සනම මතක තියෙන තැනට… ඔයා දන්නවනේ.මට එතනට යන්නම ඕන…”

” ඒත්..”

” සෙනේශ් ගැන බයවෙන්න දෙයක් නෑ සාගර.එයා හෙට කොළඹ යනවා.ලොකු වැඩකට..ඔයා එන්නම ඕන.”

මට ශාලීනී කරන්නට යන්නේ කුමක්දැයි නොතේරුණි.අදින් මෙය අවසන් කළ යුතු යැයි මට සිතිණි .

අපේ රසවත්ම මතකයන් තිබුණු තැන… ඒ අපි දෙදෙනා වැඩි කාලයක් ගත කළ තැනයි. අපේ පාසලයි.ඒ පාසල් නිවාඩු සමයකි.අපි දෙදෙනා පාසලේ සෑම තැනකම ඇවිද්දෙමු. පෙර අපගේ රසවත්ම මතක සිහි කළෙමු. කතා කළෙමු.සිනාසුනෙමු.මටද මොහොතකට ඇය සෙනේශ්ගේ බිරිඳ බව අමතක විය.

” මොකක්ද මේ වැඩේ තේරුම ශාලිනී..”

” මොන වැඩේද…?”

” මෙහෙම හම්බවෙන එකේ…”

” ඔයාට මේකේ තේරුමක් නැතිවුණාට මට තේරුමක් තියෙනවා සාගර.”

“ශාලීනී මොකක්ද මේ…සෙනේශ් මොනවා නොහිතයිද…මමයි වැරදි..”

” සෙනේශ් මුකුත් හිතන්නෑ සාගර .ඔයා බයවෙන්න එපා.අපි අපේ මතක අලුත් කරගත්තා විතරයිනේ.වෙන මුකුත් වැරැද්දක් කරේ නෑනේ…”

ඇය එදිනද නික්ම ගියේ මගේ සිතෙහි වූ පැණයන් එලෙසම ඉතිරිවෙද්දීමය.සෙනේශ් ඉන්පසුව මට දකින්නට ලැබුනේම නැත. එහෙත් ශාලිනී මතක අලුත් කරගන්නට කියා කිහිප වරක්ම අප පෙම් කළ කාලයේ ගිය බොහෝ තැන්වලට මා සමඟ ගොස් කාලය ගත කළාය.

ඉන් වූවේ මගේ සිතට ශාලිනීව අමතක කිරීම තවත් අසීරූ වීමය.

කාලය ගතවිය.පහුගිය මාස හයකට පමණ ශාලිනී මට කතාකළේවත්,මුණගැසුනේවත් නැත.අවසානයට හමුවූ දින ඇය පැවසුවේ සෙනේශ් සමඟ කොළඹ පදිංචියට යන බවය.
මටද එය මහත් අස්වැසිල්ලක් විය.එනමුත් ඇය පිළිබඳ නොසොයා සිටීම මාස හයක් ඉක්මවා යනතුරු සිදු කළත් තවදුරටත් අසීරූ විය.මට අවශ්‍ය වූවේ ඇගේ සුවදුක් විමසා බැලීම පමණක්මය.

මට රැකියාවේ කටයුත්තක් වෙනුවෙන් කොළඹ ටික කලකට නතරවීමට සිදුවිය.
සෙනේශ්ව අහම්බෙන් මට හමුවූවේ ඒ අතරවාරයේය.ඔහුගේ පෙනුම බොහෝ සෙයින් වෙනස් වී තිබිණ.

” සෙනේශ්…කොච්චර කාලෙකට පස්සෙද..”

” ආ..මේ..සාගර…මට පොඩි වැඩක් තියෙනවා .අපි පස්සේ හම්බවෙමු..”

ඔහු දින කිහිපයක්ම එලෙස මා මඟහැර ගියේය.එය කිහිප දිනක්ම වූ නිසා මම එහි අමුත්තක් දුටුවෙමි.ඔහු හමුවූ කිසිදු දිනෙක ශාලිනී ඔහු සමඟ සිටියේ නැත.

පළමුව මා කළේ සෙනේශ්ගේ කොළඹ නිවස සොයාගැනීමය.එය මිතුරෙකු මාර්ගයෙන් මට පහසුවෙන් කළ හැකිවිය.මා ඔහුගේ නිවසට එනවිට ඔහු කොහේදෝ යාමට සුදානම්ව සිටියේය.ඔහු මා දැක එතරම් පුදුම වූවේ නැත.

” සාගර..එන්න..මං හිතුවා ඔයා අද හරි ඒවී කියලා …”

ඔහුගේ නිවස හැඩිවී ඇති අයුරු දුටු මට පුදුම සිතුණි.ශාලිනී අපිළිවෙලට අකමැති අයෙකි.

” සෙනේශ් ..මේ කොහේ හරි යන්නද…”

” හ්ම්..ඇමරිකාවලට..මගේ මමායි ඩැඩියි ඉන්නේ එහේ…”

” එතකොට…”

” සාගර…මට දැන් යන්න වෙනවා.අයිම් සොරි..ශාලිනී කිව්වා ඔයා අනිවාර්යයෙන්ම දවසක මෙහෙම ඒවී කියලා ..එයා කිව්වා එහෙම එන දවසට ඔයාට මේක දෙන්න කියලා ..”

සෙනේශ් ගියේ මා අත ලියුමක් තබාය.

” ආදරණීය සාගර,

මුලින්ම මට සමාවෙන්න ඔයාට මේ ලියුමෙන් දුකක් දෙනවට.මං ඇත්තටම කැමති නෑ ඔයා අතට මේ ලියුම යනවට.ඒත් මං දන්නවා ඔයා එනවා කියලා .ඒ නිසාම මේක ඔයා අතට යනවා.
අපිට කොච්චර ලස්සන ආදර කතාවක් තිබුණද සාගර..මං ගොඩක්ම ආස ඒ කාලෙට.මං සතුටින් හිටියේ ඒ කාලේ. ඒත් මට සෙනේශ්ව බඳින්න වුණා.
මං ආයේ ඔයා ගාවට ආවා.මොකද ඒ අපේ මතක අලුත් කරගන්න .ඔයා නිතරම ඇහුවා ඒකට හේතුව .ඒත් මට ඒක කියාගන්න බැරිවුණා .දැන් කියන්නම් මං.
ඔයාට මතකද මාව කසාදෙන් පස්සේ ඔයාට හම්බවුනු දවස.එදාට හරියටම මාස තුනකට කලින් තමයි දැනගත්තේ මට කැන්සර් එකක් කියලා .එදා ඉඳන් සෙනේශ් මගේ සතුට වෙනුවෙන් ගොඩක් දේ කරා. අර පාර්ටියත් ඒ වෙනුවෙන්.ඒත් ඔයා හම්බවුණාම මට හදිසියේ ආසාවක් ආවා අපේ පරණ මතක අලුත් කරගෙනම යන්න. වසන්තයේ මතක.. ඒකේ වැරැද්දක් නෑ නේද..සෙනේශ්ටත් මං මේ ගැන කිව්වා.එයා මට අවසර දුන්නා.
ඒ දවස්ටික මට ගොඩක් වටිනවා සාගර. මගේ ලස්සනම කාලේ ඔයා මට ආයේ දුන්නා. සෙනේශ් මට පොරොන්දු වුනා එයාගේ අම්මා තාත්තා ගාවට ගිහින් ආයේ ජිවිතේ මුල ඉදන් පටන් ගන්නවා කියලා .ඔයත් එහෙම වෙන්න ඕන.එතකොටයි මට සැනසීමක් දැනෙන්නේ සාගර.මේ ලියුම ලැබෙනකොට මං මේ ලෝකෙන් ගිහින් තියේවී.ඒත් මං යන්නේ සතුටින්.ඒ මතකයනුත් එක්ක.මං නැතිවුණත් ඒ වසන්තයේ මතක අස්සේ අපි දෙන්නා හැමදාම ජීවත් වේවී ..

ආදරණීය ශාලූ.”

…………………………………………………………

ශාලූ ගිහින් අදට වසර පහක් වුණත් ඒ වසන්තයේ මතක තාමත් මගේ හිත ඇතුලේ ජීවමාන බව මට දැනේ.අලුතින් ජීවිතේ පටන් ගත්තත් මතක මතකමය.ඇය මගේ නිසදැස් ඇගයූ හැටි තාම මතකය.

සත්තයි ශාලූ
එදා වගේමයි
තනිකමක් නෑ මට..
මතකයන් ඇති කොට…

හමුවීම අයිති ඇති
හිමිවීම හිමි නොමැති අපේ ආදරේට
සත්තයි ශාලූ
මතක හොඳටෝම ඇති…

මැව් හීන ගිනියම් වුවත්
අතරමඟ අප වෙන් වුණත්
සත්තයි ශාලූ
ප්‍රේමය එතනමයි…
හැමදාමත්…

වසන්තයේ මල් පීදේවී
ඒත් ගිම්හානයේ රිදුම් දැනේවී
ඒත්..
සත්තයි ශාලූ
මතක අපේ ආදරේ ජීවත් කරවාවී…

මම අදටත් ඒ වසන්තයේ මතක දකින්නට යන්නෙමි. එහෙත් ඒ ශාලූ නොමැතිව තනිවමය.

……………………සමාප්තයි ……………………

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
2
+1
49
+1
1
+1
2
+1
7
+1
1
+1
7

5 COMMENTS

  1. I was curious if you ever considered changing the layout of your blog?
    Its very well written; I love what youve got to say.
    But maybe you could a little more in the way of content so
    people could connect with it better. Youve got an awful
    lot of text for only having one or two images. Maybe you could space it
    out better? asmr 0mniartist

  2. This is the right website for anybody who wishes to find out about this topic.
    You realize a whole lot its almost tough to argue with you (not that I actually would want to…HaHa).
    You definitely put a new spin on a subject which has
    been written about for a long time. Great stuff, just great!

    0mniartist asmr

  3. Have you ever considered publishing an ebook or
    guest authoring on other websites? I have a blog based upon on the same ideas you discuss and would love to have you share
    some stories/information. I know my readers would appreciate your work.

    If you’re even remotely interested, feel free to send me an e mail.
    asmr 0mniartist

  4. Today, I went to the beach with my kids. I found a sea shell
    and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She
    put the shell to her ear and screamed. There was a hermit
    crab inside and it pinched her ear. She never wants to go
    back! LoL I know this is completely off topic but I had to tell someone!

    asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here