කෙටි කතාවක් – අහිමි

5
2715

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

( අ ) හිමි වීම

නිල් පාට ඩෙනිමට එයා අරන් දීපු ලා කොළ පාට ශර්ට් එක ඇඳලා, අත උඩට කරලා නමලා, මගෙ උපන්දිනේට එයාම අරන් දීපු වොච් එකත් බැඳගෙන සෙරෙප්පු දෙකත් දාගෙන මං පාරට බැස්සෙ නැති වෙන්න යන බලාපොරොත්තුවක් ඇස් දෙකෙන් දකින බලාපොරොත්තුවක් එක්කයි. හරියටම ගෝල්ෆේස් පිටියට යනකොට මං එයාට අරන් දීපු රෝස පාට මල් වැටිච්ච ගවුමත් ඇඳගෙන එයා ඈතින් එනවා මං දැක්කා.

වෙනදට මං දැක්කාම දුවගෙන එන ඒ අඩි අද ආවේ වෙනදා වගේ කඩිසරව නෙවෙයි. දෙන්නම ඇවිත් ඉඳ ගත්තේ වෙනදා අපි එනකන් බලාගෙන ඉන්න ගල් බංකුව උඩමයි. ඒත්, අද ඉන්නෙ වෙනදා මෙතනට අත්වැල් පටලගෙන ආපු ඒ දෙන්න නෙවෙයි. ගල් බංකුවටත් ඒ වෙනස බොහෝ විට තේරෙන්න ඇති. වෙනදට ආපු වෙලාවෙ ඉඳන් හුස්මක් ගන්නෙ නැතුව කියවන ඒ වචන අද ගොළු වෙලා. කෙහෙරැලි අවුස්ස ගෙන හමන සුළඟත් මට දැනුනෙ අපේ නිහඬ බව එයාටත් දරා ගන්න බැහැ කියලා පෙන්නනවා කියලයි.

සුළඟට දඟ කරන එයාගෙ කෙහෙරැලිවල දඟකාරකම නවත්ත ගන්න එයා තනියම උත්සාහ කළා. වෙනදට දඟ කරන ඒ කෙස් රොද නවත්තන්න මගේ අත එසවුණත් අද මට ඒක කර ගන්න බැහැ වගේ කියලා මට දැනුණා. ඒත්, එයා ඒකට තනියම වෙහෙස ගන්නවා දැකපු මම දෙපාරක් නොහිතා දඟ කරන එයාගෙ කෙහෙරැලිවලින් අත තිබ්බා. එහෙම්ම මගේ පපුවට තුරුලු වුණු එයා පොඩි එකෙක් වගේ අඬන්න පටන් ගත්තා. අඬන්න එපා කියන්න මට ඕනි වුණත් මං හින්දා එයා අඬන අන්තිම දවස අද වෙන්න ඕනි හින්දා මං එයාගෙ කඳුළු නවත්තන්න හැදුවෙ නැහැ. අඬලා අඬලා එයාගෙ දුක අදම ඉවරයක් කර ගන්න මං එයාට ඉඩ දුන්නා. මහ ඇඬිල්ල අන්තිමට හීන් කෙඳිරිල්ලක් වෙද්දි මගේ ශර්ට් එකේ වම් පැත්ත එයාගෙ කඳුළුවලටම හේදිලා ගිහින් තිබ්බා.

රතු පැහැ ගත්ත ඉර එයාගෙ වැඩ ඉවර කරලා ගිමන් හරින්න යන්න පටන් අරන් තිබ්බා. එයාට එතනම ඉන්න කියපු මම ආයෙ එතනට ආවේ කට සැර ඉස්සො වඩේ දෙකක් එක්ක. ආයෙ මෙහෙම අපි දෙන්නට ඉස්සො වඩේ කන්න වෙන්නෙ නෑ කියලා දැන දැනම අපි දෙන්නා අමතක කරන්න බැරි මතකවල අතරමං වුණා. ඒකත් කාලා ඉවර වෙලා මං ආයෙම ආවේ අයිස් ක්‍රීම් දෙකක් අරගෙන. එයා ආස විදිය ඒක. අන්තිම මොහොතෙ පවා මට ඕනි වුණේ එයා ආස කරන විදියට මේ මොහොත ගෙවන්න.

අයිස් ක්‍රීම් දෙකත් කාලා ඉවර වෙලා එයාගෙ අතින් අල්ලන් මං ගියේ මුහුදු රැල්ල පාගන්න. වෙනදට පොඩි එකෙක් වගේ දුවලා පැනලා සෙල්ලම් කරන එයා අද හිටියේ මලානික වෙලා. වෙනදට රැල්ලට කලින් කකුල් දෙක වතුරට අල්ලන එයා අද මුහුදු රැල්ල කකුල් හෝදගෙන ගියත් හිටියේ ඒක දැනුනෙ නෑ වගේ. අත් දෙකත් අල්ලගෙන දෙන්නත් එක්ක හැංඟිලා යන ඉර දිහා කොයිතරම් වෙලා බලාගෙන හිටියද කියලා මතකයක් තිබ්බෙ නැහැ. අපි පියවි සිහියට ආවේ පොඩි එකෙක්ගෙ කෑ ගැහිල්ලෙ සද්දෙට.

” රෑ වෙලා නේද?” මං ඇහුවා.

” හ්ම් “

” දැන් යමු “

එයාගෙන් ප්‍රතිචාරයක් තිබ්බෙ නැති තැන මං යන්න ආපස්සට හැරුණා.

” යන්නම ඕනි ද? ” අන්තිමට එයා කතා කළා.

” හ්ම්.. නවතින්න බැහැනෙ “

“ඇයි නවත්තගන්න බැරි? “

” මට උරුම නැහැනෙ ” මං එහෙම කීවාම එයා ඇස් පුංචි කරගෙන බිම බලා ගත්තා.

මං ආයෙම එයා ළඟට ගිහින් මූණ මගේ පැත්තට හරව ගත්තා.ඒ ඇස්වල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ කඳුලු ඔහේ ගලා ගෙන ගියා.

” අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ දේ නොලැබෙන දෙයක් නම් බලෙන් අපි ළඟ තියා ගත්තත් කවදම හරි අපිට ඒ දේ නැති වෙනවා. එතකොට දැනෙන දුක මීට වඩා වැඩියි. ඊට කලින් මෙහෙම අත් ඇර ගන්න එක අපි හැමෝටම හොඳයි “

” මං ආයෙ අම්මලත් එක්ක කතා කරන්නම් “

” තේරුමක් නැහැ. අපි යමු දැන් “
මං එයාගෙ අතින් අල්ලගෙන ඉස්සර වුණා.

මං ඇඳගෙන යන නිසා මා එක්ක ආවා මිසක් එයා හිටියේ අඬලා අඬලා හොඳටම හෙම්බත් වෙලා. බස් එකට නැඟලා සීට් එකේ ඉඳ ගත්තට පස්සෙ එයා මගෙ උරහිසට ඔලුව තියා ගත්තා. අන්තිම පාර, අන්තිම මොහොතෙ මටත් එයාගෙ සුවඳ ළඟ ඉන්න ඕනි වුණා. හෙටින් පස්සෙ මේ හැමදෙයක්ම අතීතයට එකතු වුණු මතකයන් වෙනවා.

අපි ගියපු, කතා කරපු, සතුටින් හිටිය තැන් හැම තැනකම අපේ ලස්සන මතක විතරක් නතර වෙලා ඉඳීවී. අපි දෙන්නා නැති අපේ මතක විතරක් නතර වෙලා ඉඳීවී. අපි පාට කරපු අපේ ලස්සන හීනවල පාට එකින් එක වියැකිලා යාවි. අපි ආදරේ කරපු තැන්වලට අපි නොයනකොට ඒ තැන්වලට වෙන අය ඒවි. ඊට පස්සෙ අපේ මතක හැමෝටම අමතක වෙලා යාවි. ඒත්, මේ හිතේ ඒ හැම මතකයක්ම ඉතිරි වෙලා තියේවි. කිසිම මතකයක් අමතක නොවී, කිසිම මතකයක පාට වියැකෙන්න නොදී මේ හිත අස්සෙ ඒවා හැමදාටම ජීවත් වේවි.

මං බහින තැන ළං වෙනකොට එයා තවත් තදින් මගේ උරහිසට වාරු වෙලා හිටියා. ඒත්, මට එයාව එතනින් අයින් කරන්න වුණා. මොකද, තවත් මට එයාට වාරුවක් වෙන්න තරම් අයිතියක් තිබ්බෙ නැති නිසා. මං දිහා නොබලපු එයා බස් එකෙන් එපිට බලා ගත්තා. තවත් එයා එක්ක දුරක් යන්න මට බැරි හින්දා මං මඟින් බැහැලා මගේ ගමන ඉවර කළා. ඒත්, එයාට තව දුර යන්න තිබුණා. එයාවයි, අපේ මතකයන් සේරමයි අරගෙන බස් එක එයත් එක්කම මාව දාලා යනවා මං ඔහේ බලාගෙන හිටියා. බස් එක නොපෙනී යන අන්තිම මොහොතෙ දි එයා කඳුළු පුරවගත්ත ඇස් දෙකෙන් ඔලුව එළියට දාලා මං දිහා බලාගෙන ඉන්නවා මං යාන්තමට දැක්කා. එතකොට එයා මට අල්ල ගන්න බැරි තරම් දුරකට ගිහින් තිබුණා.

හිමි වීමක් අස්සෙ තියෙන අහිමි වීමක වේදනාව මේ තරම් කියන්න මගේ පපුවේ ඉඩ කඩ මට මදි වුණා..

~ලිමා~

උපුටාගැනීමකි

අද කතාව කොහොමද ?
+1
3
+1
35
+1
6
+1
4
+1
11
+1
2
+1
37

5 COMMENTS

  1. Pretty section of content. I simply stumbled upon your web site and in accession capital to say that I acquire actually loved account your weblog posts.

    Anyway I’ll be subscribing on your feeds and even I success
    you get entry to consistently quickly. 0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here