කෙටි කතාවක් – අවාසනාව

3
2455

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

අවාසනාව

“සුබෝධි. … සුබෝධි. .. ” මා පැවසූයේ අපගේ වසරේ සිටි ශිෂ්‍යාවකටයි.. ඇය මා දුටු බව මට විශ්වාසය. නමුත් ඇය වේගයෙන් ඉවතට ගියේ මා දෙසවත් නොබලමිනි. සියුම් දුකකින් සිත රිදුම් දුන්නත් සුසුමකින් එය පිට කළේ මේවා මට අලුත් දේවල් නොවන බැවිනි. අද දේශනයේ වූ නොපැහැදිලි වූ දෙය විමසීමට මහාචාර්යවරයා ළඟට යාමට නොහැකිය. නැවත එය දෙස බැලූ මම හිත හදා ගත්තේ එයින් පරීක්ෂණයට ප්‍රශ්න නොලැබේවා යයි දෙවියන්ට කන්නලව් කරමිනි.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මම නමින් දීප්ති ය. කුඩා කළ මම මවගෙන් මගේ නම දැමීමට හේතුව විමසූ විට ඇය පැවසූයේ ” උඹ මේ ලෝකෙම දීප්තිමත් කරනවා මගේ දුවේ දවසක. මට ඉර හඳ වාගේ විශ්වාසයි.” යනුවෙන් ය. එහෙත් තවම දීප්තියක් නම් ඇස් මානයේ නැත්තේ මා එතරම් අවාසනාවන්ත වූ නිසාවෙන් විය හැක. මාගේ පියා නැති වූයේ ඈ එසේ පවසා මාසයක් වත් ගත වන්නට පෙරය. එවිට මගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇත.

තාත්තාගේ නිසල සිරුරත් සමඟ මා පොර බැදුවේ තාත්තා මා සමඟ සෙල්ලමට නොආ නිසාවෙනි. නැන්දා කෙනෙකු කදුලු සිර කරගනිමින් මාව නැවැත්තුවේ තාත්තාට නින්ද ගොස් ඇති බව පවසමිනි. එදා සිට කොතෙක් මඟ බලා සිටියත් තාත්තා යළි කිසි දිනක මා හා සමඟ සෙල්ලම් කිරීමට නොපැමිණියේය. තාත්තා ඉල්ලා මා හැඩූ වාර අනන්තය. නමුත් දෙවියන් කුඩා මගේ ඉල්ලීමට පිටු පෑ බැවින් දෙවියන්ටද සාප කළා මට මතකය.

මට අවුරුදු 7ක් පමණ වන විට නිවසේ කලහයක් ඇති වූයේ තාත්තාගේ අයියා එනම් මගේ ලොකු තාත්තා නිවසින් අප එළවා දැමූ බැවිනි. ලොකු තාත්තාගේ බැනුම් නිසා මම සිතුවේ අම්මාද මට සෙල්ලම් කිරීමට නොලැබේ යන්න ය. අම්මාත් තාත්තා මෙන් කතා නොකළහොත් නැවත නොඑන බව ඒ වන විට මම තේරුම් ගෙන තිබිණි. මම කෑ ගසා හැඩුවේ ලොකු තාත්තාගේ ඇගේ එල්ලීගෙන ය.

අම්මා මාව එක් අතකින් ද ලොකු බෑගයක් අනෙක් අතින්ද ගෙන ආච්චි අම්මාගේ නිවසට පැමිණියා වුව එහි වූ නැන්දාගෙන්ද අම්මාට එල්ල වූයේ වාග් ප්‍රහාර පමණි. මට අවුරුදු 8 වන විට වියපත් පිරිමියෙකු හා සමඟ අම්මා මාවත් රැගෙන ගියේ ඇයට ඉවසන්නට බැරිම තැන විය යුතුය. එවිට මාගේ මවගේ වයස අවුරුදු 29 ක් වූ අතර ඔහුගේ වයස අවුරුදු 72කි. අම්මා නම් පැවසූවේ ඒ මගේ අලුත් තාත්තා බව වුවත් ඔහුට කිසිදා මා රුචි නොවූ අතර සෙල්ලම් කිරීමට ගිය විටෙක මා පන්නා දැමූවේ මා නොදන්නා වචන රාශියක් කියමිනි.

අලුත් ගමේදී අම්මා මුහුණ පෑවේ නැවත ප්‍රශ්න සමුදායකටය. මා පාසල් යන විට ළමුන් මා සමඟ කතා නොකළේ දෙමාපියන් මාත් සමඟ කතා නොකරන්න යයි තරවටු කළ නිසාවෙන් යයි ඔවුන්ගේ කතාවෙන් මට වැටහිනි.

“මුන්ගේ අම්මාගේ රුදාවට හැට පැන්න නාකියෙක් එක්ක ඇවිත්. මහා එකී විදියම ඇති ඕකිත්. උඹ එහෙම යන්න එපා කතාවට.” මගේ පන්තියේ සිටි ළමයෙක්ගේ මවක් පවසද්දී එය මට පවසන්නක් බව තේරුම් ගැනීමට මට හැකියාව තිබිණ. එදා පටන් පන්තියේ කොනේම අසුනේ සිටි මා සෙල්ලමකට වුව ළමෝ නොගත්තෝය. ඔවුන් සෙල්ලම් කරන අයුරු බලා සිටීමෙන් සෑහීමට පත් වූ මා සිතුවේ සෙල්ලම් කිරීම මා හට අයිති නැති දෙයක් ලෙසය. ඇනුම් කෙටුම් ගල් මුල් ප්‍රහාර වලට මා දැන් හුරු ය.

මා හත වසරේ සිටියදී මාගේ අලුත් තාත්තාද මිය ගියේ ය. ඒ ගැන මාගේ සිතේ දුකක් නොවිණි. එහෙත් ඉන් පසුව ගම්මුන් අපේ අම්මාට ප්‍රසිද්ධියේ දෝශාරෝපණ එල්ල කළේ ඉඩම ලබා ගැනීමේ අරමුණින් ඔහු මරා ගත්තා යනුවෙන් පවසමිනි. මාස දෙකක් පමණ ගත වන විට අම්මාගේ සිහිය විකල් වී තිබිණ. ඇය මිනිසුන් දුටු තැන අසැබි වදනින් බැන එළවා ගත්තාය. විටෙක ඇය මාද නොහදුනන්නීය. එවන් විටක පොතකුත් රැගෙන වත්ත පහළට යන්නේ පොත් මාගේ මිතුරා නිසාවෙනි. ජීවත් වන මිනිසුන්ට අප්රමාණව බියවූ මා අජීවී වස්තූන්ට ආදරය කළෙමි. විටෙක අම්මා මාව නිවසින් පන්නා දැමූ වට මාගේ දුක කීවේ පූසාටය. ළඟ දැවටෙමින් ඌ පෙන්වන සෙනෙහස කිසිම මිනිසෙකු තුළ නොවූ බැවින් මාගේ ජීවිතය වූයේ පොතුත් පූසාත් පමණි.

පොත් කියවීමට ලැදි වූ නිසාවෙන්ම මා ඉගෙනුමට දක්ෂ විය. පළමු වතාවෙන්ම මා වෛද්‍ය පීඨයට තේරී පත් වූයේ ඒ නිසාවෙන් විය යුතුය. වත්තේ ඇති පොල් වල ආදායම නිසාත් ගුරුවරයෙක්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම නිසා මම විශ්ව විද්‍යාල වියදමට යම් මුදලක් ඉතිරි කර ගෙන තිබිණ.

කුප්පි ලාම්පුවෙන් පොත් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස මාගේ ඇස් පෙනීම දුර්වල වූ නිසාවෙන් ඇසට නොගැළපෙන ලොකු උපැස් යුවලකුත් දත් ඉදිරියට නෙරා ඒම නිසා පෙරලුනු තොලත් නිසා මා හට උරුම වී තිබුණේ විරූපී පෙනුමකි. මට තිබුණේ ඇදුම් දෙකක් පමණක් වන අතර වැසි දාට යමක් ඇඳ ගැනීමට නොමැති බැවින් තෙත ඇදුමින් දේශනවලට ගොස් අසනීප වූ අවස්ථා අනන්තය. ළමෝ මා සමාගමය මේ හේතුවෙන් අප්‍රිය කළෝය. ඒ හිතුවෙන් සුබෝධි මා මඟහැර යාමේ අමුත්තක් මම නොදැක්කෙමි.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මා මාගේ සුපුරුදු ගල් බංකුව වෙත ගියේ අනෙක් කොටස් කියවා තේරුම් ගැනීමේ අරමුණෙනි. මා එනු දැක අනෙක් ළමෝ ඉවත්ව ගියේ නහය හකුලා ගනිමිනි. මේ දින කිහිපයේම ඇත්තේ මාගේ ඇගපත කඩා දැමුවාක් මෙනි. දැන්ද පොත අතට ගද්දී දැනුනේ ක්ලාන්ත වන ගතියකි. කොපමණ උත්සාහ කළත් ඇස් විවර කර තබා ගැනීමට අපහසු ය. දණහිස්වල වේදනාවත් සමඟ ඇස් නිලංකාර වී යනු මට දැනුණි.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඇස් විවර කරන විට මා සිටියේ රෝහලේය. පරීක්ෂණ ගණනාවකට බදුන් කළ මා සිටියේ මහත් අපහසුවෙනි. කතා කිරීමටහැකියාව ලැබුන වහා මම “මොකක්ද සර් මට වෙලා තියෙන්නේ? “යනුවෙන් විමසුවෙමි.

“මට කණගාටුයි කියන්න. පුතාට ලියුකේමියා. Surgery එක කරන්න ලක්ෂ 65ක් වගේ ඕන. ඒකෙත් සාර්ථත්වය 50%යි”

මගේ මුහුණේ මදහසක් ඇදුනේ ඉබේටමය.

” මළවුන් අතර ඉන්න එක මිනිස්සුත් එක්ක ඉන්නවා තරම් අමාරු නැතිව ඇති. මාව ගෙනියන්න ඉක්මනින් දෙවියනේ. . .තාත්තා සෙල්ලමට ගෙනත් දුන්නේ නෑ වගේ මේ ඉල්ලීමට ඔබ වහන්සේට පිටුපාන්න බෑ හොඳද ? ඔබ වහන්සේ මගේ ඉල්ලීම ඉටු කරනවා නේද?” දැන් මාගේ එකම පැතුම මරණයය.

හෂිනි.
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
4
+1
9
+1
0
+1
2
+1
20
+1
5
+1
33

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here