කෙටි කතාවක් – අම්මා

5
1941

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

අම්මා


“සුද්දී සුද්දී…නැගිටපං හයයි වෙලාව…?”

වේලාව උදෑසන හය වෙන්නත් තව විනාඩි දහයක් ඉතිරිව ඇත.කුසුමා තම එකම දියණිය උදාගිර සැරසෙන්නටත් පෙර කුද්දන්නට වෙහෙසෙන්නේ උදෑසනම තම රැකියාව කරා යාමට ඇති නිසයි….ඇයට ඇහැරෙන බවක් දක්නට නැත.

“සුද්දී…නැගිටහං.”

ආදරය හංගාගෙන ඇයට සැර වෙන්නට විනාඩි ගතවෙනවා….ඒත් නොසොල්මන්ව තම දියණිය සුව නින්දේ ඇත.පුංචි දරුවන් හොදින්ම නින්දට එන වේලාවද මෙයයි….

“දෙයියනේ.. මෙහෙවර නැගිටලා…”

ආදර බස් නොඇසුන සුද්දීට ඒ වචනයනම් අහම්බයක් ලෙසට ඇසුනා…එහාට මෙහාට පෙරලෙමින් හිද නැවතත් ඇගේ දෑස් පියවුණා…කුසුමා අතිකින් අල්ලාගෙන ඇය ඇදෙන් බිමට ගන්නේ උදේ පාන්දර සිතේ තරහක්ද උපදින ගමන්මයි….

“තොට මොකද.මම උදේ පාන්දර එක එකාගෙන් බැනුම් අහන්ට එපැයි.මෙහෙ වරෙන් යන්ට.”

දත කට මදින්න තියා සුද්දීට ඈලි මෑලි ගතිය මග හරවා ගන්නටවත් වේලාවක් ලැබුනේ නැත.අරහෙන් මෙහෙන් කඩ ගැසී ඇති බෑගයට දෙදෙනාටම සෑහෙන තරමට දමාගත් බත් ටික කරේ එල්ලාගෙන කුසුමා තම දියණියගේ දෑතින් අල්ලාගෙන පාරට බසින්නේ තම රැකියා ස්ථානය කරා ලගාවීමටයි……

ඇය උදේ හත වෙන්නටත් කලියෙන් එතනට යාගත යුතුයි.එසේ නොවන්නේනම් අයිතිකරුගෙන් උදේම ලුණු ඇඹුල් ඇතිව හොද වචන අසන්නට වෙයි….

තම ස්වාමියා දරුවා හා කුසුමා ජීවිත ගමනේ අතර මග දමා ආපසු හැරෙන්නේ මොවුන් දෙදෙනාගේ ජීවිත අදුරින් අදුරටම යවමින්…කුසුමා රැකියාව කරන්නේ ගල් කොරියක.ඇයට මත්තෙන් එහි සේවය කලේ ඇගේ සැමියා සමන්තිලකයි.ඔහු මේ ගල් කොරියේම සේවය කල කාන්තාවක් හා හාද වී ඇය හා නව විවාහයකට පිවිසෙන්නේ මොවුන් දෙදෙනාට තිබුන එකම සරණද නැති කරමින්මයි…..

එතැන් පටන් කුසුමා තම දියණියගේ බර කරට ගනිමින් මාසෙන් දින විසි පහකට වඩා ප්‍රමානයක් ගල් කඩන්නේ ජීවත්වෙන්නට වෙන හරි හමක් වත්කමක් හෝ රැකියාවක් නොමැති වූ නිසයි…..

“කුසුමා…අදත් පරක්කුයිනෙ.ඔහොමනම් බෑ….”

“කෙල්ල කුද්දගන්ට ටිකක් පරක්කු උනා මහත්තයා…”

“උබ ඉතිං හැමදාම කියන බනේ ඕකනෙ.අයෙ දවසයි බලන්නෙ රස්සාව නැතිවෙයි…”

අයිතිකරු එසේ කියමින් හැරී යද්දී කුසුමා තම දියණිය දෙසට ඇස් ගෙනගියේ තරහින් වගෙයි….කබ කඩමින් උදේම පැමිණි ඇය ලගම තිබූ ගලක් මත ඇලවී ඇත.එය දකිද්දී කුසුමාගේ හිත් අහසම මදකට කඩා වැටුනා….

ඇය තාම පුංචි මල් කැකුළකි….මේ වයසේ අත මිට කාසිපනම් ඇති මවුවරුන්ගේ දරුවන් තාමත් සුව යහන්වල සැප සේ නින්දේ සිටියි…..කුසුමා උගුර පාදමින් තම වැඩේම නියැලුනා…..

වේලාව ගතව යද්දී උදාගිර රත්කරමින් හිරු කිරන පතිත උනත් ඇය තාම ගලක් මත සුව නින්දේ ඇත….

“සුද්දී…..”

කුසුමා තම රාජකාරිය කරන ගමන්ම ඇය ඇමතුව…ඒත් ඇය අවුව නොතකා නිදාගෙන සිටී..දිග…සුසුමක් අතරින් කුසුමා ඇයට ලංවුනා….

“සුද්දී…නැගිටලා ආන් බෑග්ගෙ බත් එක.අරං කාපංකො.”

“අයියෝ…..දැන් අයෙ දරුව හුරතල් කරනවද..?උබට මේ රස්සාව හරියන්නෙ නෑ කුසුමා…”

“කෙල්ල නින්දෙ ඉද්දින් කුද්දගෙන ආවෙ මහත්තයා බත් ටිකක් කන්ට ඇහැරන්ට නැගිට්ටෙ.”

“හැමදේටම නිදහසට වචන තියනවා…”

කුසුමාගේ ස්වාමියා ඇයව දමා ගිය පසුව රැකියාවට ඔහු ගන්නේ ඇය ගැන යම් යටි අදහසක් සිතේ තියාගෙනයි.කිහිප විටක්ම වහෙන් ඔරව එද්දී කුසුමාට එය හොදින්ම දැණුනත් නොදැණුනා සේ සිටි නිසාම ඔහු ඒ ගැන කෙලින්ම කතා කලේ ඇගේ පඩියද යම් මුදලකින් වැඩිකර දෙන්නට පොරොන්දු දෙමින්.ඒත් කුසුමා එයට අවනත වෙන්නේ නැත.ඒ නිසාම ඔහු හෑම වේලාවකම කුසුමා පාගා දමන්නට උත්සහ දරන්නේ කෙසේ හෝ ඇය එයට නතු කර ගැනීම සදහායි….කුසුමා එවන් ගැහැණියක් නොව ඇය තම දියණියට යහපත් මවකි.තරුණ වයසේ ඉන්න නිසාම ඇයටද ආසාවන් නැතුවාම නොව.තම දරුවා කෙල්ලෙක් වූ නිසාම ඇගේ අනාගතය නිසි ලෙසින් ගෙනියන්නටනම් මවගේ හැදියාව හා යහපත් බව බලපාන නිසාම හෑම විටකදීම කුසුමා පරිස්සම් වුණා…

පුංචි කෙල්ල නැගිටගත් පමනින්ම බෑගයට අත දමා ඇයට වෙනම ඔතා තිබූ පුංචි බත් පෙට්ටිය ගෙනවිත් දිගහැරියා….එහි ඇත්තේ බත් ටිකකට දමා තිබූ අලකොල මාලු ටිකක්….

“අම්මා..ම්හ් ම්හ්…”

“ඇයි සුද්දී….?”

“මට කන්ට බෑ….”

“අදට කාපන්කො හැන්දෑවට පරිප්පු ටිකක් අරං ගිහින් රසට උයල දෙන්නම්….”

“පරිප්පූ….ඇත්තමද….?”

“ඔව් ඔව් දැන් ඕක කාපන්කො.”

“නැ අම්මා මම කන්නෙ නැතුව ඉන්නම් රෑට පරිප්පු ටිකක් උයලා කමු.”

මහා යදම් බැදි මේ සමාජයේ අත මිට ඇති මිනිසුනගේ දරුවන් පරිප්පු දැක කදුළු සලද්දී අද වේල කන්නට දහ දුක් විදිනා මිනිසුනගේ දරුවනට පරිප්පු ටිකක් කන්නට ලැබෙන්නේද මාසයකට එකක් හෝ දෙකක් වේල් පමණයි….අනෙක් සියල්ල වත්ත පිටියෙන් ඇලෙන් දොලෙන් සොයා ගන්නා ගහේ කොල ටික හා ඵල ටික පමණක් කෑමට ගන්නේ ආසාවටම නොව වෙන කරන්නට දෙයක් නොමැති වූ නිසයි…..

“අම්මා….”

“ම්ම්ම්ම්ම්”

කුසුමා ඇය හා කතා බහ කරන්නේ තම රාජකාරිය කරන ගමන්මයි…ඒ ඇගේ ජීවන අරගලය ගෙනියන්නට ඇති එකම මග නිසා රැකගන්නට අවශ්‍ය නිසයි…

“පොල් සම්බෝලයකුත් ඈ….”

පුංචි දියණියගේ කටට රසට හම්බවෙනා එකම ආහාරය එයයි…මස් මාළු ඔවුන්ගේ ජීවිතවලට හීනයක් පමණයි….බිත්ති හතරින් මැදි වූ පුංචි පැල්පතේ සැමදාම ඇත්තේ දුක් ගීයක් පමණයි….විඩාබර හදවත අස්සෙන් නැවතත් දිග සුසුමක් නැගුනා…..

කොතරම් අකමැති උවද සුද්දී තම බත් එකෙන් බාගයක් පමන කාගෙන කාගෙන ගියේ අලකොල මාලුව සමගනම් නොව.එය එහාට මෙහාට තල්ලු කරමින් බත් ටික පමනක් ගිල දැම්මා….

……………………………………………………………………………………………………………………………………….

කාලය ටිකින් ටික ගලා යද්දී සුද්දීගේ පාසල් වයස ටිකින් ටික ලංවුණා…ඇගේ පාසල් ගමන ආරම්භ කරන්නට කියා කුසුමා ඉතිරි කල කිසිවක්නම් තිබුනේ නැත.කෙසේ හෝ වෑයම් කරමින් කුසුමා පාසල් ගමන ආරම්භ කරන්නට සුද්දීට ඕනෑ කරන ද්‍රව්‍ය සියල්ල නිසි ලෙසින් රැගෙන දෙන්නේ අත මිට ඇති මිනිසුනගේ දරුවන් හා කරට කර යන්නා ලෙසටයි….

“මේ කෙල්ල කාගෙද…?”

හැඩට ඉන්නා සුදු කිරිල්ලී මෙන් දිලෙන් සුද්දී දැක ඉර්ෂියාවෙන් බලා සිටිනා ගැහැණුන්ට එය පුදුමයකි.තම දරුවන් හා එකට යා වී සිටිද්දී ඇය දෙස ඔවුන් බලන්නේ වෙනම බැල්මකින් යුතුවයි…..

“ඔය අර ගල් කොරියෙ කුලී කරන කුසුම කියන එකීගෙ කෙල්ලනෙ.බලාපන්කො යම රජ්ජුරුවොන්ගෙ දරුවෙක් වාගෙනෙ…”

“හා…ඒකිගෙද…අර මිනිහා දාලා ගිය එකීනෙ.එහෙනම් මුදලාලිට හොදට…”

ඇය ඉතිරිය ගිලගෙන සිනා රැල්ලක් නැගුවේ අනෙකාට ඇගිල්ලකින් අනිමින්….

“අප්පා…ඕකා මහ කුකුලා….මම දන්නැතෑ ඕකගෙ හැටි.”

“ඔව් ඔව් ප්‍රියම්බිකාව වෙලා ඇති.ඒකයි මේ සල්ලි…”

මිනිහෙක් නැති ගැහැණිය ගණිකාවක්.බඩුවක් කරන්නේ ඒ ශරීරයේම කොටස් පිහිටා ඇති ගැහැණියමයි….තම ස්වමියා සොයා දෙන දෙයක් කමින් ඔහුට සතෙකුට මෙන් සලකමින් කිසිම කෙලෙහි ගුණයක් නොදත් මේ ගැහැණුන් අතින් බලද්දී කුසුමා මිල කල නොහැකි වටිනාකමක් දිය හැකි කාන්‍තාවකි….ගල්කොරියේ අයිතිකරු ගැන ඔවුන් දකිනා පැතිකඩ ඇත්තකි.ඒත් කුසුමා කිසි දිනකදී ඔහුට හාද වෙන්නට ගියේ නැත.තම දියණිය බඩ ගින්නේ හෝ හදාගන්න ඇයට නිහතමාණී අම්මා කෙනෙක් වුණා….

කුසුමා තම දියණියගේ පාසලට එන්නේ උදේට පාසලට ඇරලන්නට පමනයි..ඇගේ පාසල් වේලාව නිම වෙන වේලාවට කුසුමාට නිදහසක් නැත.ඇයට තම රැකියාව බේරා ගතයුතු නිසාම සුද්දී ඇය සොයාගෙන පැමිණෙන්නේ ගල් කොරියටයි…..ඇය හා ගිණි අවුවේ වේලෙමින් හිද නිවසට යන්නේ පහෙන් පසුවයි……

තම දියණිය ජීවිතය දුක් ගීයක් ලෙසින් ලියවෙද්දී සිතින් ඇය දහස්වර හඩා වැටෙන්නේ තම ස්වාමියාට දෙස් තබමින් නොව.තමා ලබා උන මේ ජීවිතයට හූල්ලමින්…..

“අම්මා….ඉස්කෝලෙ කඩයක් තියනවා.කට්ටියට ඒකෙ එක එක ඒවා කනවා..”

ඇය මේ කියන්නේ කැන්ටින් එක ගැනයි….පාසල් විවේක වේලාවට මුදල් ඇති දරුවන් පොරකමින් ගොස් යම් යම් කඩසෝරු කන්නේ හරිම ආසාවෙන්….මේ පුංචි සිගිත්තී ඔවුන් කන දෙස බලා සිටින්නේ කටේ කෙල උනන ගමන්…ඒත් ඇය මේ ගැන කුසුමාට කියනවා හැර මුදල් ඉල්ලන්නේ නැත.කුසුමාට අයිති දිග සුසුම් හෙලන එක පමණයි……

……………………………………………………………………………………………………………………………………….

කාලයත් සමගින් තම දියණිය පාසල් ගමනේ වසර පහකට ලගාවෙන්නේ කුසුමාගේ තරුණ ශරීරයද දිනෙන් දින වියපත් කරමින්…..සුද්දී ඉගෙනීමට බොහෝ දක්ෂ කෙනෙකි.පංතියේ වරක් හෝ දෙවරක් පමණයි දෙවෙනි තැනට පත්වෙන්නේ…අනෙක් සියල් විභාගවලින් පළමු තැනට පත්වෙන්නේ ඇති නැති පරතරය හා අධ්‍යාපනයේ වෙනස කියා දෙමින්…..

කුසුමා දහසක් කම්කටොලු අස්සෙන් තම රැකියාව පරිස්සම් කරගෙන වැඩ පල කරගන්නට සමත් වෙන්නේ මාසයකට එකෙක් හෝ දෙන්නෙක් මේ ආයතනයේ රැකියාවට එන නිසයි…අයිතිකරුගේ බැල්ම දවසින් දවස වෙන වෙන අයට යන නිසාත් ඇය දවසින් දවස වැරහැලි වීමත් එක් පැත්තකින් වාසනාවක්ද නොවුනාම නොව….

පාසලේ ගුරුවරුන් බොහෝ දෙනා සුද්දීට ආදරය දක්වන්නේ ඇය ඉගෙනීම කටයුතු සදහා උපතින්ම අරන් ආ දක්ෂතාවය නිසයි..අහිංසක පෙනුම මෙන්ම නිවුනු ගති පැවතුම් ඇති සුද්දී දෙස සියල්ල බලන්නේ අනුකම්පා සහගත බැල්මක් සහිතවයි….

සුද්දීට තම පංතියේ අනෙක් ළමුන්ගේ මවුවරුන් බොහෝ දෙනා ඉර්ෂියා කරන්නේ ඇගේ හැකියාවන් ගැන නිතරම ගුරුවරුන් ඔවුන් හා පවසන නිසයි….උදේම පෙර ලෙසම අම්මා සමග පාසලට එන සුද්දී සියල් ළමුන්ට පෙර පාසලට පැමිණෙන්නේ කුසුමාට උදේම තම රැකියා ස්ථානයට යාගන්නට ඕනි නිසයි…..

ඇය පාසල් නිම වී මවගේ රැකියා ස්ථානයටවිත් විශාල ගලක් සොයාගෙන ඒ මත තමාට දවසේ කරන්නට ඇති සියල් පාසල් වැඩ ටික අවසන් කරගෙනයි නැවතත් නිවසට යන්නේ…ඒ ගිය පසුද කුප්පි ලාම්පු එලිය ඇගේ අධ්‍යාපන ගමනට ලොකූ රුකුලක් වුණා…..

සෙලවෙනා දැල්ලට විටෙක ඇගේ දෑස් කකියන්නට වුණා..විටෙක අතක් වැදී ලාම්පුව බිම වැටී ඇය ගොඩාක් ආසාවෙන් ලිවූ ප්‍රශ්න හා උත්තර සියල්ල ගින්නෙන් දැවෙද්දී කුසුමා දිව විත් ඒ ගින්දර නොනිමන්නටනම් සුද්දීගේ ඇදුමට ගින්දර විත් ඇගේ ශරීරයද පිලිස්සී යන්නට තිබුණා….

ඒ දවස සුද්දී ඉකි ගසමින් හඩද්දී ඇය නවත්තන්නට නොහැකි තැන කුසුමාද ඇය හා කදුළු සැලුවේ ලබා උපන් දුප්පත්කමට දුකක් හදවත තුල රදවමින්…..විනාඩි ගණන් නොව පැය ගණන් සුද්දී හඩද්දී පසුදා කුසුමා පාසලින් උදේම පිටවෙන්නේ පංතිබාර ගුරුතුමිය හමුවී සිදු වූ සියල්ල කීවාට පසුවයි…ඇගේ දෑස් මත පුංචි කදුළු බිදුවක් දිලිසෙනවා කුසුමාද හොදින්ම දැක්කා….

“හරි අම්මේ මම ඒකට මොනව හරි කරන්නම්….”

කුසුමාගේ සිත සැනසූ ඇය එයින් නොනැවතී පංතියේ සුද්දී හා සම සමව පාඩම් වැඩ ටික නිසි ලෙසින් කරනා තවත් දියණියකගේ පොතක් ගෙන ඇගේ පොතේ සියල් පිටු කොපිකර ඇය විසින්ම පොතක් ලෙසට ලස්සනට සකසා දෙන්නේ….

“මේක තියාගන්න පුතේ..මටත් පුංචි කාලෙ ඔහොම වෙලා තියනවා.ඔයා ඒ ගැන හිතන්නෙපා හොදින් ඉගෙන ගන මටත් වඩා හොද කෙනෙක් වෙන්නකො….”

පුංචි සිතට ඒ වචන බර වැඩිවුවත් ඒ ලස්සන පොත දකිද්දී සුද්දීගේ සිත සතුටින් පිරී ගියා..පරිස්සමට ඒ පොත බෑගයේ දමාගෙන ඇය කුසුමාගේ රැකියා ස්ථානයට ගිය සැනින් ඇයට පෙන්නන්නේ හදවතේ සතුට දෝර ගලන ගමන්මයි……

“දැන් හිනා වෙනවා…”

“මට ගොඩාක්ක්ක් දුක හිතුන අම්මා….”

“හා හා…මෙ මේ…දරුවො හුරතල් කරන්ට මෙතන බෑ..ඒවා ගෙදර ගිහින්….”

දුකින් බරව තිබූ දියණියගේ සිත සතුටින් ඉපිලෙද්දී ඒ සතුට දිහා බලාගෙන සතුටක් ලබන්න කුසුමාට ඉඩක් ලැබෙන්නේ නැත.නැගුන සිනාව හංගාගෙන නළල දිගේ ගලා එන දා බිදු හිසේ ඇති රෙදි පොටින් පිසිමින් ඇය නැවතත් තම වැඩේ නියැලෙන්නේ..

“අපි ගෙදර ගිහින් ඕක බලමු පුතේ…”

යන වචනය කියමින්..ඒ වචනය අවසන් වෙන්නේද ගල් මිටියෙන් ගල් කැටයට තුන් හතර පාරක් පහර වදින ගමන්….තම මව අසරණ වෙන තරම දැක සිතට ගන්නට සුද්දීට ඒ තරම් දැණීමක් තිබුනේ නැත.ඇය නැවතත් පරිස්සමට ඒ පොත බෑගයට දමා ගත්තා…..

……………………………………………………………………………………………………………………………………….

කෙනෙකුට රං හා කාලය වටිද්දී දුප්පත් කමින් බරිතව ජීවත්වෙන මිනිසුනට දවසෙ හරි ඉක්මනින් ගෙවෙන්නේනම් සිතට නැගෙන්නේ සතුටක්….ඒ කුමක් නිසා වත් නොව දවසේ රාජකාරිය අවසන් කරමින් වැඩ කල දින ගනින්නටයි….කිසුමා දවස ගෙවද්දී අහස දෙස බලමින් කාලය මනිනා වාර අනන්තයි..ශුමයට සරිලන වැටුපක් ඇයට ලැබෙන්නේනම් අද ඇය බොහෝ ගමනක් එන්නට තරම් දහඩිය හෙලා ඇත.එහෙත් දවසට ඇයට ලැබෙන්නේ රුපියල් හත්සීයක සොච්චම් මුදලක් පමනයි….වෙන හරි හමන් ආදායම් මාර්ගයක් නොමැති ඇය දරුවා පෝෂනය කරමින් අධ්‍යාපනය සදහා සියල් වියදම් දරන්නේ මේ ලැබෙනා මුදලින්මයි…..

ඇය ගැන දන්නා සියල් දෙනා තම දරුවාගේ නඩත්තුව සදහා නඩත්තු මුදලක් තම සැමියාගෙන් ඉල්ලන්නට කිවුවද ඇය එයට කැමති වෙන්නේ නැත.මගෙ දරුව මට බරක් නෑ…ඒ මිනිසුන්ට හොදක් වෙනවනම් ඒ ඇති.හෑම දෙනාටම ඇය දෙන පිළිතුර එය පමණයි…..දිරිය මිනිසුන් අතර දිරිය ලද තවත් ලදක් ඇත්නම් ඒ කුසුමානම් විය.තම පියාගේ අඩුව නොදැනෙන්නට ඇය බොහෝ සේ දියණියට ආදරය කරයි.. ඇය පුංචි වරදක් කලද කුසුමා කිසිම දිනකදී ඇයට තරවටු කරන්නේ නැත.එහි ගුණ නුගුන කියා දෙන්නේ නිසි ලෙසින් ජීවිතය හදා ගන්නට හරිම ආදරයෙන්….

සුද්දී පාසල් ගමනේ පළමු කඩ ඉම පසු කරන්නේ තම අධ්‍යාපනය ලද කලාපයටම උපහාරයක් වෙමින්…ඇය ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම දිනන්නේ මෙතෙක් කලාපයේ දරුවෙක් ලද ඉහලම ලකිණුට හිමිකම් කියමින්….

කරගැට වැටුන දෑතින් සුද්දීගේ මුහුණ පිසිද්දී අලුති කඩා දැමූ කරගැටයක වේලුණු සම කැබැල්ලක් ඇගේ මුහුණට රිදුම් දුන්නා…සුද්දී ඒ දෑත අරං හොදින් ඇස් ඇර බලන්නේ ඒ රිදුම් දෙන්නේ ඇයිද කියයි….එය වටහා ගත් කුසුමා හදිසියෙන් මෙන් තම දෑත සගවාගෙන දෙදන ඇය ලග නමන්නේ ඉකි ගැසෙන ගමන්….ඒ පුංචි සිතේ ඇත්තේ සතුට පමණයි…..

බොහෝ යදම් නැති සුද්දීගේ ජීවිතය මල් පූදින්නේ මේ නිසල ජයත් සමගයි….සියල් මිනිසුනගේ දෑස් දුප්පත් ගැහැණියකගේ ජීවිත කතාව ලග විවර වෙද්දී මුදලින් ඉහලට යන්නට වෙර දරනා මිනිසුන් බොහෝ දෙනා ඔවුනට උපකාර කරන්නට ඉදිරිපත් වෙන්නේ කටු මැටි බිත්ති ඇති නිවස පවා තනා දෙන්නට වාරු දෙමින්….

ඒත් කුසුමා එයට කැමති වෙන්නේ නැත..ඇය ඒ සියල්ලගෙන් ඉල්ලා සිටින්නේ තම දියණියට මේ ගමන ඉදිරියට යන්නට මගක් තනා ගන්නට උදවු උපකාර කරන්න කියයි….

ඒ නිසාම ඇයට සියල් වියදම් දරන්නට එකිනෙකා පොරකද්දී වෙනත් පාසලකට යවන්නට වරම් ලද උවද කුසුමා එයටද අකමැති වෙන්නේ තම දියණිය ඇගේ උණුහුමේම හැදෙන්නට ඕනි නිසයි….

“මේ ඉස්කෝලෙම හොදයි මහත්තයෝ කෙල්ලට.”

ඒ වචනයට සිනා නැගූ මිනිසුන්ද ඒ අතර නොසිටියාම නොව.අධ්‍යාපනය හා ගුණදම් සියල්ල එකට යා කරන්නට දරුවා මවු පිය සෙනෙහසේ ජීවත්විය යුතුයි යන අරමුණ කුසුමාගේ සිතේ තිබුණා….

……………………………………………………………………………………………………………………………………….

සුද්දී පාසල් ගමන යද්දී කුසුමා වසර නවයකට ආසන්න කාලයක් තම රැකියාවේ නිරත වෙන්නේ දහසක් දුක් කන්දක් විද දරා ගනිමින්….ඉගෙනීම මෙන්ම සුද්දී දිනෙන් දින රූපයෙන්ද හැඩ වැඩ වෙද්දී ඇය රැක ගන්නට කුසුමා බොහෝ වෙහෙසක් ගත්තා…තම දියණියගේ හොදම මිතුරිය ඇයයි…ඒ නිසාම ඇගේ මිතුරු මිතුරියන් ආදරයෙන් වෙලෙද්දී සුද්දීගේ ජීවිතයම පොත වුණා …..

එහි ඵලය විදහා පාමින් සුද්දී දෙවැනි කඩ ඉමද ඉහලින්ම ජයගන්නේ සියල් විෂයන් සදහා ඒ සාමාර්ථයන් ලබමින්…..ඒ ප්‍රතිඵලයන් ඉදිරියේ සුද්දීට වඩා පාසලේ ගුරුවරුන්ද ඒ සියල්ලට වඩා මවක් ලෙසට කුසුම සතුටක් ලබන්නේ දරා ගන්නට නොහැකි වචන කරන්නට නොහැකි නිහතමාණී ආඩම්බරයක් අතරින්….

“උබ දිනන වාරයක් වාරයක් ගානෙ උබට වඩා දිනන්නෙ මම සුද්දී….”

කුසුමාගේ ඒ වචන තේරුම් ගන්නට තරම් අද සුද්දීගේ මනස පොහොසත්ව තිබුණා…

“තව ටික කාලයයි අම්මට මං දුක් විදින්න දෙන්නේ…ඊට පස්සෙ අම්මා රැජිනක් වගේ තියනව මං….”

“මේ වචන ටිකම ඇති සුද්දි මට සතුටින් මැරෙන්ට.මට උබ බර නෑ..”

“අම්මට මං බරක් වුනානම් අප්පච්චි වාගෙම අම්මත් මං දාලා යනවනෙ…”

“එහෙම ගියාට උබෙ අප්පච්චිත් ඉන්න තැනක ඉදලා සතුටු වෙනව ඇති සුද්දී….”

“ඒ ගැන අපි කතා නොකර ඉමු අම්මා…”

නොකිවුවාට සුද්දී තම පියාව යටිසින් පිලිකුල් නොකලාම නොව.ඒත් ඇය එය කිසිවෙක්ට පෙන්නන්නේ නැත.තම හිත මතම හංගාගෙන උන්නා….වියෙක තම මව කරනා රැකියාව ගැන කියමින් යහළුවන් විහිළු කල අවස්ථාද නැතුවාම නොව.ඒත් සුද්දී ඒ සියල්ල ඉවසා දරා සිටින්නේ කුසුමාටවත් ඒ බවක් හගවන්නේද නැතිවයි……

“අම්මා….දැන් මට වෙන ඉස්කෝලෙකට යන්ට වෙනවා….”

“ඒක තමයි සුද්දී මාත් මේ දහ අතේ කල්පනා කරන්නේ…”

“අනේ මං දන්නෑ අම්මා….මට බෑත් වාගෙ.’

“උබ විකාර කියවනවද..?මම හෙටම ගිහින් ලොකු සර් එක්ක කතා කරන්නම්කො….”

කුසුමාට ඇති චීත්ත කෑලි එකිනෙක ගෙන හොදම එක ඇය බලන්නේ පාසලට පිලිවෙලකට යන්නයි…ඒත් ඇයට පිලිවෙලකට ඇදගෙන යන්නට තරම් හොද චීත්ත පොටක් නැත.මදක් කිලිටි නොවූ චීත්තය ඇද පැලද ඇය පාසලට ගොස් විදුහල්පතිවරයා මුන ගැසී ඔහුගෙන් උප දෙස් ගන්නේ දරුවාට හොදම දේ දෙන්නටයි….

බොහෝ ගුරුවරුන් ඒ වෙද්දිත් සුද්දීගේ අධ්‍යාපනයට සුදුසුම පාසල ගැන කතිකා කර තිබුණා…ඒත් ඇයට වසර දෙකක් තම මවගෙන් මිදී තනිවම ජීවත් වෙන්නට සිදුවෙන බව දැණෙද්දී කුසුමා බොහෝ දුක් වුණා…ඒත් ඇගේ අනාගතය වෙනුවෙන් නිසා කැමැත්ත දෙන්නේ සිතේ දුක හා බිය යන දෙකම ඇතිවයි…….

සුද්දීට ඒ පාසල් ගමන යා ගැනීම සදහා ශිෂ්‍යත්ව කිහිපයක්ම ලැබුන නිසා කුසුමාට බරක් නැත.ඒත් ඇගේ සිතේ ඇති එකම බර තම දරුවා ඇගෙන් වෙන්වීමයි…ඒත් සුද්දී ගැන ලොකූ විශ්වාසයක් ඇගේ සිතේ තිබුණා….

සුද්දී නතර කරන්නේ බෝඩිම් කාමරයක නොව පාසල් නේවාසිකා ගාරයකයි.ඒ නිසා කුසුමාට දැන්නම් බියක් නැත.එහි ඇති නීති රීති සියල්ල ඇයට පැහැදිලි කල නිසා සිතේ සතුටක් ඉපදුනා….

……………………………………………………………………………………………………………………………………….

වසර දෙකේ අලුත් පාසල් ජීවිතයෙන් ඇය සමුගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරම් ලබමින්…ඇගේ ඒ ජය සමරන්නේ සුද්දී හා කුසුමා පමණක් නොව පාසලේ සියල් ගුටුවරුන් හා ඇගේ පරන පාසලේ ගුරුවරුන්ද ඇතිවයි…….

අධ්‍යාපනය පමනක්ම නොව මේ තාක් ජීවිතේ තම චරිතයද නිසි ලෙසින් හැඩ කරගෙන මේ ගමන මේතාක් දුර එන්නට ඇයට මහත් රුකුලක් උනේ කුසුමාගේ ගුරුහරුකම් ටිකයි…ඇය මිතුරියක සේ තම දියණිය ලගින්ම හිද ජීවිතයේ යථාර්තය නිසි ලෙසින්ම කියා දෙන නිසා ඕනෑම සමාජයක ගරුත්වය රැකගෙන ජීවත් වෙන්නට ඇයට හැකිය…..

මුදලින් දුප්පත් උවද අධ්‍යාපනයෙන් පොහොසත්කමක් ඇතිව පේරා දෙණිය විශ්ව විද්‍යාලයට අත්පත් තබන සුද්දීට ඒ වසර හතර ගෙවාගන්නට මහත් වෙහෙසක් දරන්නට උනේ ලැබෙනා මුදලට එහා ගිය මුදලක් මසකට වියදම් කරන්නට ඌ නිසයි…වේලක් හැර වේලක් කමින් තම අධ්‍යාපනයේ අවසන් අදියර ගෙවා දමන සුද්දී සිතින් පමණක් නොව දෑසින්ද දුක පහ කරන්නේ බොහෝ වේලාවට තම මව විදිනා දුක නිසාමයි….

විටෙක ඇයට මේ අධ්‍යාපනය එපා විය…ඇත්තටම නිදහස් අධ්‍යාපනය තුල තිබෙනා නිදහසේ තරම ඇය දැන් දැන් හොදින්ම පසක් කර ගනිමින් සිටියා….වියපත් දෑස නින්ද සොයද්දී සුද්දීගේ සිත දිවුවේ දෑස් අස්සෙන් සටහන් තුලටයි…..

මේතාක් ආ ගමන් මගේ අවසන් ඵල දරන්නටනම් මා මේ ගමන හමාර කල යුතුයි යන අහිංසක හැගීම සුද්දීගේ සිත තුල නිතරම දෝන්කාර දුන්නා…ඒ අස්සෙන් තම මවගේ දහඩිය සල්ලි වෙන ආකාරය මතකයට නැගෙද්දී සිතින් දහස්වර මැරි මැරී ඉපදෙන්නේ ගලා එන කුනාටු ලෙසටයි…..

පළමු වසර සරසවියේ නේවාසිකාගාර ලැබුනද ඉතිරි වසර ටික ගෙවාගන්නට ඇයට බෝඩින් කාමර සොයන්නට සිදුවුණා…එහෙත් ඇය කෙසේ හෝ වසර දෙකක් සරසවි නේවාසිකාගාර මතම නවාතැන් ගත්තද තවත් වසරක් දෙකක් ගෙවන්නට ඇත්තේ මුදලට යටත් කාමර මතයි….

වෛද්‍ය පීඨයේ සිසුවියක ලෙසට ඇයට තවත් වසර දෙකක කාලයක් ගෙවා දමන්නට සරසවියේ ඉඩ සැදෙද්දී සුද්දී තමාට අමතර ආදයමක් සොයා ගන්නට මාර්ග සොයන්නට උනේ ඇය ලෙසින් තවත් මේ සරසවිය තුල අහිංසක දෙමාපියන්ගේ දරුවන්ද සමගයි…..කිහිප දෙනෙක් එකතුව රෙදි සාප්පු කිහිපයකට ගොස් තම සත්‍ය ජීවිත කතාව කියමින් අමතර රැකියාවක් ඉල්ලන්නේ රැගෙන ආ දුප්පත්කම නිසයි…

දිනකට සොච්චම් මුදලකට ඔවුනට රැකියාවන් සොයා ගන්නට ලැබෙන්නේ තම දෙමාපියන්ගේ බරෙන් මදක් නිදහස් කරන්නට මගක් ලෙසටයි….ඒත් කෙටි කාලයක් තුලදී සුද්දීට එම රැකියාවන් එපා වෙන්නේ ඒ අතරද ඇත්තේ කුහක මිනිසුන් නිසාමයි….

මුදලට මුවාවී ගතට ලොල්වී සල්ලි මත තම ජීවිත මනින්නට උත්සහ දරද්දී ඇයි හොදයිකම තියාගෙන් සුද්දී ඒ ජීවිතේට තිත තියන්නේ තම අධ්‍යාපනය තරමටම ජීවිතයේ අනාගතය වටිනා නිසාමයි…..

ඒත් ඇය පිරිසිදු ආදර කත්වක් සරසවිය තුලදී සොයන්නේ ඇයටම ගැලපෙන සුන්දර මිනිසෙකු හමු වූ නිසයි..ඒත් ඒ ආදරය අස්සේ බොහෝ වේලාවට කතා කලේ අධ්‍යාපනය ගැනමයි….අතපසුවෙන පාඩම් ඒ සියල්ල දෙදෙනා සමලෝචනය කරන්නේ බොහෝ බැදීම් අස්සෙමයි…

……………………………………………………………………………………………………………………………………….

කාලය ගෙවෙද්දී සුද්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි සහතිකය අතට ගන්නා දිනය එලබෙන්නේ නුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසට පුහුණුවීම් කරන අතරතුරෙයි….සියල්ලගේ දෙමාපියන් හැඩට වැඩට ඇද පැලද දරුවා ලගට එද්දී කුසුමා චීත්ත කෑල්ලෙන් ගත වසාගෙන ඉද්දී සුද්දීට එහි අඩුවක් පෙණුනේ නැත….ඇය දිව විත් දෙදන නමන්නේ ඇයට ආචාර කරමින්….

“අම්මා…මගෙ හීනෙ අද සැබෑ වෙලා….”

“උබෙ නෙවෙයි සුද්දී මේ මගෙ….මගෙ අත්වල තියන කරගැටවල ණය උබ ගෙවුවා….”

“ඒ ණය ගෙවන්න මට කාලෙ එහෙම්ම අම්මා…ඒ ණය ගෙවනව මං….”

“උබට කවදාවත් වරදින්නෙ නෑ සුද්දී…..”

සතුටු කදුළු දෝර ගලද්දී සුද්දී සරසවියට සමුදෙන්නේ ඈතින් ඇසෙනා අද විතරයි සරසවියෙදි අපි හමුවෙන්නේ…ගීතයේ වචන අස්සෙන්……

සුද්දීගේ මුල්ම පඩිය ගෙන ඇය මුලින්ම යන්නේ කුසුමා සමගින් ඇය සේවය කල ආයතනයේ ප්‍රධානියා හමුවෙන්නයි….ඔහුට වටිනාම සරමක් කමිසයක් තමාට හැකි පරිදී යම් යම් දේද රැගෙන ගොස් දෙදන බිම තබා වැද ඔහුට පිං දෙන්නේ ඇගේ මේ ගමනට ඔහුගෙන් ලැබුන උදවු නිසයි….

තම මවගෙන් සොච්චම් මුදලට වැඩ ගත්තද ඒ මුදලින් අද සුද්දී මේ රටේ වටිනාම රැකියාවට උරුකම් කියා ඇත.ඇය ඇයට උදවු කල සියල්ල අමතක කලේ නැත.ඔවුනට ඇගේ සතුට කියාපාන්නට සොයාගෙන ගියේය…..

එතැන් සිට කුසුමා තම රැකියාවට සමු දී දියණිය ලග රැජිනක ලෙසට අවසන් කාලය ගතකලා…ටික කලකදී සුද්දීගේ සරසවි ප්‍රේමය විවාහයද වී සතුටින් මේ රටේ වෛද්‍ය වරුන් දෙදෙනෙකු ලෙසට සියදහසක් ලෙඩුන් සුවපත් කළා…..

නිමි.

– S. P අධිකාරි –
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
5
+1
58
+1
5
+1
1
+1
0
+1
1
+1
0

5 COMMENTS

  1. Magnificent web site. A lot of helpful information here.

    I am sending it to several friends ans additionally sharing
    in delicious. And of course, thanks in your effort!
    asmr 0mniartist

  2. It’s the best time to make some plans for the future
    and it is time to be happy. I have read this post and if I could I
    want to suggest you some interesting things or suggestions.
    Perhaps you can write next articles referring to this article.

    I wish to read even more things about it! 0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here