කෙටි කතාවක් – නුඹ එක්ක

0
2543

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

නුඹ එක්ක

මේ ජීවිතයේ වෙනදා තරම්ම හුරුපුරුදු දවස් නොවේ..ඔහු මාව හැරගොසින් අදට වසරක් සපිරෙන තැන ඔහුත් මාත් නිතර ආ ගිය මගේ මං විතරක් තනියෙන් ..

වසරක් පුරාවටම හිත දැඩි කරන් ආවා ගියාට මොකද අද නම් හිතට දැනුනෙ හරි අමුතු පාළුවක් ..ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න නොහැකි වුනත් සේවා ස්ථානයෙන් වැඩ අවසන් කරලා මං පිටත් වුනේ වෙනදාටත් වඩා ප්‍රමාද වෙලා..

මෝටර් රථය ධාවනය කරගෙන අවම වේගයකින් ආවේ ඇත්තටම මගේ ගතට වාරු නැති සෙයක් මටම දැනුන නිසා..

ශරීරය වර්ථමානයේ වුනත් ඒ මොහොතේ මගේ හිත තිබුනේ අපේ අතීත මතකයක් වල..

ඔහුට තිබුනේ මෝටර් බයිසිකල් එකක්.. පිටුපසින් බදාගෙන ඔහුට තුරුල්වෙලා මේ පාරේ මං කොයිතරම් නම් වාරයක් යන්න ඇතිද..

මටත් නොදැනිම මං වාහනය හැරෙව්වේ අපි හැමදාම මුණ ගැහිලා දොඩමළු වුන තැනට..

ඒක හරි ලස්සන තැනක්..
ඈතට විහිදුන වෙල් යාය.. ඊටත් එහායින් තිබුන ඔය..
හරි සාරවත්ව ගලාගෙන ගිය දොළපාර.. ඒ අයිනෙම තිබුන මහ විශාල කුඹුක් ගහ යට මං වාහනය නතර කලා.. ඒවා තාමත් ඒ විදියමයි..

අපි හමුවුන තැන තනියෙන් ..
මං විතරමයි ඉන්නේ..
ඔබ හැරගිය තැන සතුටින් …
ඉන්නවද නෑ දන්නේ..
කවදාවත් ඔබ නාවත් තරහා නෑ සිතුනේ..
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ..

මං වාහනයෙන් හෙමීට බැහැ ගත්තේ දෙපා වාරු නැති වෙද්දී ..වෙල් යායෙන් ආපු සුපුරුදු හුළඟ අදත් මාව සිපවැලද ගත්තා කිසි ලෝභකමක් නැතුවම..

එදා තිබුන හැමදේම මගේ ඇස් ඉස්සරහා.. හැබැයි ඔහු හැරෙන්නට..

කුඹුක් ගහ යට නතර කරපු ඔහුගේ මෝටර් බයිසිකලය උඩ වාඩි වෙලා අපි දොඩමළු වුන හැන්දෑවල් කොයිතරම් නම් තිබුනද..

ඔහු කැමතිම මගේ පිටුපසින් වැළඳගෙන මා කියනා ඕපදූප අසා ඉන්නටය.. සැබවින්ම ඔහු බස්සෙක්.. මං ගිරවියක්..

අපි අඳුර වැටෙනකම් මොන තරම් දේවල් කතා කලාද..
ඔහුගේ හීන. මගේ හීන.. අපි දෙන්නගෙම හීන..

” ඇත්තටම මට ඕන පාරමි නිස්කලංක තැනකින් ඉඩමක් අරගෙන ලොකු ගෙයක් හදාගෙන චූටි ලස්සන දුවෙකුත් හදාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න..”

ඔහුගේ හීන මොනතරම් සරල සුන්දර ඒවාද.. මං එහෙම හිතුවේ ආඩම්බරකින් හිත පුරෝගන්න ගමන්..

ඒත් කවදාවත් ඔහුගේ ඒ හීන වල වැරදීමකින්වත් මං හිටියේ නෑ කියලා තේරුම් යනකොට ඔහු මගෙන් ගොඩාක් ඈතට ගිහින්..

හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවස මට එක තත්පරයක් ගානේ මට තාමත් මතකයි..
අහේතුකවම මහ අමුතුම මුස්පේන්තු මූසල ගතියකින් මගේ හිතම පිරිලා තිබුනේ..කිසිම වැඩක් හරියට කරගන්න බැරි උනා වගේම මගේ ස්ටාෆ් එකටත් මං නිකරුණේ කෑගැහුව..

ඔය අතරේ විහංගගෙන් මට සුපුරුදු කෝල් එක ආවා..

” පාරමී.. මොකද කරන්නේ බබා.. බිසීද ඔයා..?”

” අනේ නැහැ විහංග.. අද මගේ හිතට හරි අමුතුයි.. කිසි වැඩක් කරගන්න බෑ.. කියන්න තේරෙන්නෙ නෑ..”

” ඒ මොකද ලමයෝ.. හරි හරි මේ ඔයාට කියන්න දේකුත් තියෙනවා .. දැන් කියන්න බෑ එහෙනම් හවස මීට් උනාම කියන්නම්..”

” අනේ විහංග..දැන් කියන්නකෝ ප්ලීස් ඔයාත් මාව බය කරනවනේ..”

ඔහුව අහිමි වෙනවා කියන සිතුවිල්ලටත් මං ගොඩක් බය වුනා..

” බය වෙන්න දෙයක් නෙවෙයි පාරමී.. හවස කියන්නම්.. කියනදේ අහන්නකෝ..”

” එහෙනම් මොකක් ගැනද කියලා විතරක් කියන්න..”

” විසාකා ගැන..”

මගේ හිත ඇතුලෙන් අකුණු සියයක් පිපුරුවා වගේ කම්පනයක් මට දැනුනා.. විසාකා කියන්නේ විහංගගේ පරණ පෙම්වතිය ..

මොකක් නමුත් නපුරු දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා මගෙ යටි හිතට දැනෙන්න ගත්තා..ඉතුරු පැය කිහිපය මං ගෙවා දැම්මේ හරිම අපහසුවෙන්..

අපි මුණගැහෙන සුපුරුදු තැනට වෙලා මං බලන් හිටියේ ගැහෙන හදින්.. පුදුමාකාර නොඉවසිල්ලකින්..


විහංග සුපුරුදු හිනාවෙන්ම ඇවිත් බයිසිකලය නතර කලා..තම්බපු කඩල මුල් දෙකින් එකක් මට දික් කලා වෙනදා වගේම..කිසි වෙනසක් නැතුවම ආගිය තොරතුරු කතා කලා.. මාව වැලඳගෙන හිටියා..

” පාරමී..”

ඔහුගේ මූණේ තිබුනෙ හරිම නිවුන ගතියක්.. හැබැයි මාව නම් ගොඩක් නොසන්සුවෙලා තිබුනා.. හයියෙන් හුස්ම වැටුනා..

ඔහු බයිසිකලයෙන් බිමට බැහැලා මගේ මූණ දෝතට මැදි කරගත්තා..

” විසාකා මට කතා කලා පාරමී..”

මං ඉහලට ගත්ත හුස්ම පහලට වැටුනේ නෑ.. මගේ ආදරේ මට නැති වෙන්න යනව කියන අනියත් බියෙන් මගෙ තුන් හිතම වෙලා ගත්තා..

” මො.. මොකක්ද .. ක.. කවදද..”

” අද කතා කලේ පාරමී.. ඔයාට මං කෝල් එක ගත්තේ ඒ ගැන කියන්න.. ඒත් ඔයා ඒක කොහොම දරාගනියිද කියලා මට බය හිතුනා.. ඒකයි මීට් වෙලාම කියන්න හිතුවේ..”

” ඇ.. ඇයි විහංග එක පාරම..?”

” මං කවදාවත් හිතුවේ නෑ පාරමි එයා මට කතා කරයි කියලා..අවුරුදු තුනකට පස්සේ මගේ විසාකා මට කතා කලා පාරමී.. එයාට මාව ඕන කිව්වා..මං නැතුව ජීවිතයක් නෑ කිව්වා පාරමී..”

දෙයියනේ අවුරුදු තුනක් මං පණ වගේ රැකගත්ත මගේ ආදරේ මට නැති වෙන්න යන දිහාව මං බලන් හිටියේ එක සීරු අදුළු කඩා වැටෙද්දී …ඒක කොයිතරම් නම් දරාගන්න අමාරු වේදනාවක් ද කියලා අත්වින්ද අය දන්නවා..

” එතකොට විහංග මං?? ඔයාගේ පාරමීට මොකද වෙන්නෙ?? “

මං ඇහුවේ මගේ දෙතොල් වෙව්ලද්දි ..

” මට ඔයාව තේරෙනවා පාරමී..මං ඔයාට ආදරෙයි ..නැතුව නෙවෙයි ..මේ අවුරුදු තුන පුරාවටම අම්මෙක් වගේ මට ආදරේ දීලා මාව බලාගත්තෙ ඔයා.. විසාකා නිසා බිංදුවටම වැටිලා අවුල් වෙලා තිබුන මගේ ජීවිතේ පිලිවෙලක් කලේ ඔයයි පාරමි.. ඒකට මං හැමදාමත් ඔයාට ණය ගැතියි.. විසාකට මගෙ අතින් වරදක් වුනා.. එයා හරි අහිංසක ලමයෙක් පාරමී.. එයාව අසරණ කරන්න මට බෑ..”

” ඔයා වෙනුවෙන් මං මොනවද නොකලේ විහංග.. ඔයාට මං මොනවද නොදුන්නේ.. මං අහිංසක නැද්ද ..මගේ ජීවිතේ අසරණ වෙන්නෙ නැද්ද විහංග..කතා කරන්න ඔය නිසා හැමදේම නැති කරගත්ත මේ ජීවිතේ අසරණ නැද්ද ..”

මං ඔහුගේ කමිස කොලරයේ එල්ලිලා පිස්සියෙක් වගේ අඬා වැටුනා..

” මට සමාවෙන්න පාරමී.. මට ඔයාගේ ජීවිතේ ට නොඑන්නයි තිබුනේ.. විසාකා මං වෙනුවෙන් මෙහෙම බලන් ඉන්නවා කියලා දන්නවා නම් සත්තයි මං ඔයාගේ ජීවිතේට එනවා තියා හැරිලාවත් බලන්නේ නෑ පාරමී.. මට සමාවෙන්න වස්තුව මං ඔයාට ආදරෙයි ..”

” මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ විහංග.. අනේ අපේ හීන.. මං හෙට ඉඳන් ඔයා නැතිව කොහොමද තනියෙන් ජීවත් වෙන්නෙ.. මට පිස්සු හැදෙයි විහංග.. ඔයා නැතුව මට තනියෙන් කිසිම දෙයක් කරගන්න බෑ..පිං සිද්ධ වෙයි මාව දාලා යන්න එපා..”

මට කඳුළු නවත්තගන්න පුළුවන් කමක් තිබුනේනෑ..සත්තයි මගේ ජීවිත කාලෙටම මං මේ තරම් අඬන්න නැතුවැති..

” ඔයාව කවදාවත් තනිකරන්නෙ නෑ පාරමී.. හොඳ යාලුවෙක් විදියට මං හැමදාම ඔයාත් එක්ක ඉන්නවා..”

” එහෙනම් මට පොරොන්දු වෙන්න වෙනදා වගේම මට කතා කරනවා කියලා.. මාව මීට් වෙනවා කියලා මට ආදරේ කරනවා කියලා..”

මං පිස්සියක් වගේ කියවගෙන ගියා.. ඇත්තටම මං හොඳ සිහියකින් නෙවෙයි හිටියේ

“එහෙම කරන්න අමාරු වෙයි පාරමී.. ඉස්සර තරම්ම අපිට ලඟින් ඉන්න බැරි වෙයි..විසාකාට මේ දේවල් දැනගන්න තියන්න බෑ.. ඒ කෙල්ලගේ පපුව පැලෙයි.. මොනම හේතුවක් නිසාවත් මට එයාව නැති කරගන්න බෑ පාරමි.. මාව තේරුම් ගන්න..”

ඒක මොන තරම් නම් අසාධාරණ කතාවක්ද කියලා ඔහුට තේරුම් කරන්න වාරු නැති තරමට මාව අසරණ වෙලා හිටියේ..

” මං අපේ අම්මලට මොකද කියන්නේ විහංග..”

” අම්මලට ඔය මොකක් හරි කියන්න පාරමී.. මගේ කාස්ට් එක ගැලපෙන්නේ ත් නෑනේ ඔයාලට.. මං ඔයා තරම් ඉගෙන ගෙනත් නෑ..ඔය හේතුවක් මොකක් හරි කියලා අෆෙයාර් එක නැවැත්තුවා කියන්න..මං හෙට විසාකාගෙ අම්මව මුණ ගැහිලා මේ ගැන කතා කරන්න යනවා..”

අවුරුදු තුනකට කලිම් ඔහුගේ ජීවිතේ නන්නත්තාර කරල දාලා ගියපු ගෑණිව ලගට ගන්න ඔහුට තිබුන කලබලය දැක්කම මට ඇත්තටම දැනුනෙ පිලිකුලක්..

මිනිස්සුන්ට මේ සා වෙනස් වෙන්න පුළුවන් ද..අද වෙනකම්ම මට අදරේ කරලා මාත් එක්කම ඉඳලා හැමදේම බෙදාගෙන කිසිම දෙයක් නොවුන ගානට මාව එයාහේ ජීවිතෙන් අයින් කරලා දාන්න හදන විදිය මට අදහාගන්න බැරිනුනා..

” සමහර විට මේ අපි මුණ ගැහෙන අවසාන දවස වෙයි පාරමී.. ඔයාගෙ නම්බර් මට බ්ලොක් කරන්න වෙයි.. පාරක දැක්කත් නොදැක්ක ගානට යන්න වෙයි.. ඔයා මට පොරොන්දු වෙන්න ඉස්සරහට මොන දේ සිද්ධ වුනත් ඒ දේවල් දරාගන්න පුළුවන් තරමට ඔයා හිත හයිය කරගන්නව කියලා..
ඔයා ජීවිතේ හදාගන්න පාරමී.. විසාකාට වගේ නෙවෙයි ඔයාට ඒ වෙනුවෙන් හැමදේම ඔයා වටේට තියෙනවා ..
මං අසාධාරණ ඇති.. ඒත් විසාකා මගේ පලවෙනි ආදරේ .. මට එයා තරමට ඔයාව දැනුනේ නෑ..”

ඔහු ඔහුගේ වෙනස්වීම සාධාරණීකරණය කරද්දී මං උපේක්ෂාවෙන් බලන් හිටියේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් තිළිණ කරපු ධර්ම චක්‍ර හැඩැති රන් පෙන්ඩනය දිහාව..

” පාරමී මං ටිකක් ඔයාව තුරුල් කරගන්නද”

” එපා විහංග..”

” ඇයි.. අන්තිම වතාවට .. මං හිතුවා ඔයා ආස වෙයි කියලා.. අපි සතුටින් සමු අරන් යන්..ඔයා හැමදාම කියන්නෙ පාරමි මගෙ පපුවට මූණ ඔබාගෙන ඉන්නකොට ඔයාට දුක අමතක වෙනවා කියලා..”

” මගේ මුළු ආත්මෙම ඔයාගේ ආදරේ කියන ගින්නෙන් පිච්චිල අළු වෙලා ගිහින් විහංග..දැන් මේ හොඳටම ඇති.. ඔයා නැතිව ජීවත් වෙන්න මං මේ මොහොතෙ ඉඳන් පුරුදු වෙන්න ඕන..”

” පාරමී..”

විහංග මගේ මූණ දෝතටම මැදි කරගෙන බොහෝ වෙලාවක් සිප ගත්තා.. අවසානයේ මෘදු හාදුවක් නලලත තැවරුවා..
මං හිටියේ හැඟීමක් දැනීමක් නැති ගල් පිළිමයක් ගානට..
ඔහු තවත් මොන මොනවදෝ කියන්න උත්සාහ කලත් මං පිටිපසවත් නොබලා එක පිම්මට මහ පාරට දුවගෙන ආවේ එක සීරු කඳුළු කඩා හැලෙද්දි ..

ඔව් ඒ අපේ ආදරේ අවසන් නිමේෂය..

ඔහුව මා දුටු අවසන් දවස..

එයිනුත් මසකට පස්සේ ඔහු විවාහ ගිවිසගත් බව මට අසන්නට ලැබුනා..

අතීතය සිතුවම් පටක් මෙන් ඇස් ඉදිරියේ මැවෙද්දී මං හෙමීට වර්ථමානය ආවා..

ආයේම වතාවක් ඇස් කඳුලින් පිරෙද්දී මං දැක්කේ රේල් පාර අයිනේ තිබුන පුංචි පෙට්ටි කඩය..

විහංග නුඹ හැරුනම ඒ කිසි දෙයක් වෙනස් වෙලා නෑ..නුඹ නැතිව නුඹේ මතකන් එක්ක මං තාමත් අපි ආසම තැන් වල…

” ආන්ටී.. මට දෙන්නකෝ තම්බපු කඩල ගොටු දෙකක්..”

මං හිටියේ තනියෙන් වුනත් වෙනදා පුරුද්දට මට එහෙම කියැවුනා..

” සීනි සම්බෝල එක්කද නැතුවද..”

” එකකට සීනි සම්බෝල විතරයි .. අනිත් එකට සීනි සම්බෝල එක්ක බැදපු මිරිස් කරල් දාලා..”

මට ඒක වාක්‍ය ඉවර කරන්න හම්බුනේ නෑ..

” දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.. අපේ නෝනා.. කොහෙද නෝනේ මෙච්චර දවස් ගිහින් හිටියේ.. දැන් දෙතුන් දොහකට උඩදි මං අපේ උන්දෑ එක්කත් කියැව්වා නෝනයි මහත්තයයි ආවේ නෑනේ කියලා..”

මාස්ක් එක දාලා හිටියත් ඇය මාව ඉක්මනින් ම අඳුනගත්තා..

” මේ පැත්තෙ එන්න බැරි උනා ආන්ටී.. වැඩ ගොඩක හිර උනා..”

” කාරි නෑ කාරි නෑ.. මෙහෙමවත් එන්න පුළුවන් උනානේ.. නෝනේ නයි කොච්චි දාපු ලුණු මිරිසක් තියෙනවා.. මහත්තයා හැමදාම ඉල්ලනව මට මතකයි .. ඒකෙනුත් දාන්නද..”

” එපා ආන්ටී.. ඔහොම ඇති..”

” කෝ නෝනේ මහත්තයා ? “

ආන්ටි ඇහුවෙ යමක් තේරිලා වගේ..

” එයා නෑ ආන්ටී මං විතරයි ආවේ..”

” මහත්තයා හොඳින් නේද..”

” වෙන්නැති ආන්ටී..”

මං කොහෙදෝ ඈතක් බලාගෙන කිව්වා..

” ඇයි නෝනේ මේ කඳුළු..

” අපි සම්බන්ධෙ නැවැත්තුවා ආන්ටි. ඒයා වෙන කෙනෙක් කසාද බැන්දා..”

” අනේ දෙයියනේ මොන ඇස් වහක් වැදුනද.. කුරුළු ජෝඩුව වගේනේ හිටියේ..”

අපිට කොතැන හරි වැරදුනා ආන්ටී.. මං හිතින් හිතුවා මිසක් ඒක වචන වලට පෙරලන්න ගියේ නෑ..

” ජීවිතේ හැටි ඔහොම තමයි නෝනා.. නවතනින්න වෙන්නේ අපිට උරුම තැන මිසක අපි හොයාගත්ත තැන් වල නෙවෙයි ..”

” ඔව් ආන්ටී.. ඒක නම් එහෙම තමයි..”

” අපේ උන්දැට මාව දීග දුන්නේ බලෙන්.. මගේ කිසිම කැමැත්තක් තිබ්බේ නෑ.. ඒ දවස් වල මගෙත් හිත ගිය මනුස්සයෙක් හිටියා නෝනේ.. හ්ම්ම්.. ඒත් අපි කිව්වට බෑ.. හිමිකමක් නැත්නම් නෑම තමයි..දැන් එහෙම උනා කියලා මං මලේ නෑනේ නෝනේ..මේ යස අගේට ජීවත් වෙන්නේ.. නෝනත් හිතට හයිය අරගන්න.. මම නම් කියන්නෙ මේ වගේ පරණ දේවල් මතක් වෙන තැන් වලට එන්න එපා..නිකම් බොරුවට හිත රිදෙනවා විතරයි ..”

” මට අද මෙතැන පහු කරලා යන්න හිත දුන්නෙම නෑ ආන්ටී.. “

” නෝනගේ ගමන නෝනා යන්න.. හිතුන හිතුන වෙලාවට නතර වෙන්න හොඳ තැනක් නෙවෙයි අතීතය කියන්නේ..”

මං නිහඬමව අහගෙන හිටියා..

” නෝනාගේ ඇස් වල මහත්තයා වෙනුවෙන් පිරිලා තිබුන ආදරේ මහ පුදුමාකාර එකක්..ගෑණු අපි එහෙම තමයි නෝනා..හැම කැපකිරීමක් ම කරන්නෙ අපි ආදරේ කරන මනුස්සය වෙනුවෙන් .. හැබැයි පිරිමි හරි දක්ෂයි තමන්ට පණ වගේ ආදරේ කරන ගෑණිව නැති කරගන්න..”

ඇත්ත පිරිමි හරි දක්ශයි පණ වගේ ආදරේ කරන ගෑණිව නැති කරගන්න..උන් හැමදාමත් එක එක විදියට කලේ පුදසුනක් වගේ නිර්මල ආදරේ ට රිදෝපු එක..

මං හෙමීට වාහනය දිහාවට පියවර තැබුවේ කඩල මුල් දෙකත් එහෙමම ලී බංකුව උඩ තියලා..

විහංග අතීතයේ එක දවසක අතීතයේ
එක තැනකදි උඹ මාව අතෑරියා.. ඇත්ත මට එදා උඹව නැති වුනා..ඒත් මට මාව හම්බුනා.. එදා මම උඹට ආදරේ කලාටත් වැඩියෙන් අද මම මට ආදරේ කරනවා..ඉතින් තාමත් උඹට ආදරෙයි මං.. මට මාව හොයලා දුන්නට.. මටම ආදරේ කරන්න මටම වටිනාකමක් දෙන්න මට හුරුකලාට..

ඇසිපිය ගසන හැමතැනම ඔබ ඉන්නවා..
නෙත නිදි නැතිව මැව් හීන හිත දවනවා..
මම දුර ඈත ඔබ එක්ක පියමනිනවා..
අද ඔබ නැතිව ඔබ එක්ක මං ඉන්නවා..
හිත දවනවා නෙත ඉකිබිඳිනවා අද..
ඔබ නැතිව ඔබ එක්ක මං ඉන්නවා..

__________________________________

කවදාහරි ම දවසක උඹ මේ කතාව කියවයි.. නම් ගම් වෙනස් උනත් මේ තියෙන්නේ අපේම කතාව.. එකක් නෑර උඹේ වචන.. එදා මහ පාරෙදි හිඟන්නියක් වගේ අතෑරලා දාපු මං අද උඹ නැතිව ජීවිතේ දිනලා විහංග..
එදායින් පස්සේ තවත් බොහෝ දේවල් සිදු වුනත් මං ජීවිතේ දිනපු බව නම් උඹ දැනගත යුතුමයි..
– පාරමී ආසිංසනා මැදවත්ත-

ඉතින් මේ පාරමීගේ කතාව.. කතාව ගැන වචනයක් කියාගෙන යන්න..

ආදරෙන්
හෂීණි.එම්.හේරත්

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
6
+1
63
+1
8
+1
2
+1
1
+1
0
+1
6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here