දේවතාවී – 02 කොටස

21
2046

දේවතාවී 

     02 වන කොටස 

◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈

  දවසක් හැර දවසක් සුපුරුදු රෑ ❽ට

◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈

👉 දැන් ඔයාලා ආසම කරන ලේඛක ලේඛිකාවන්ගේ පොත් 20%ක් දක්වා වට්ටම් සහිතව www.Nawakatha.lk හරහා ගෙන්වා ගන්න පුළුවන්. ගෙදර ඉඳන්ම Online මුදල් ගෙවීමේ පහසුව වගේම Cash On delivery සේවාවත් තියෙනවා. නිකමට ලොග් වෙලා බලන්න සයිට් එකට. අලුත්ම පොත් ගොඩක එකතුවක් දැන් තියෙනවා. 

        සයිට් එකේ දැනට නැති ඒත් ඔයාලාට ගන්න ඕන පොත් තියෙනවා නම් කියන්න. ඒවත් ලෑස්ති කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා ඉතිං මගේ Whatsapp අංකය 0755 36 14 36 එකට මැසේජ් එකක් දාන්න. 

👇

           ” උඹ… උඹ… මේක උඹ හොඳට අහගනින්.. “

           දත් මිටි කාගෙන තනුර කතා කරනවා. මූණටම ළං වෙලා තියෙන තනුරගේ කටින් එන අරක්කු ගඳ තදින්ම එවෙලේ දැනුණා. මේ තරම් කේන්තියක්..? නෑ… මේ තරම්ම වෛරයක්.. මරන්න තරම් වෛරයක්.. අනේ දෙයියනේ මං මොනා කළාටද..? 

           ” මට උඹව ඕනේ නෑ.. ඇත්තටම උඹව ඕනේ නෑ.. “

           ඒ වචන දැනුණේ මාධවීගේ පපුවේ ගැඹුරුම තැනකට. 

          ” මට ඔයාව ඕනේ මාධවී.. ඔයා නැති ජීවිතයක් නෑ මට.. ඒ තරම්ම මම ආදරෙයි ඔයාට.. “

           මතකයි.. තාමත් මතකයි එදා තනුරගේ කටින් පිටවුණ ඒ වචන ටික. ඇස්වලටම එබිලා මූණම මුළු අතින්ම ආදරෙන් අරගෙන නළල ඉඹලා එදා එහෙම කියද්දි ඒ ඇස්වල තිබුණ ආදරේ තරම මාධවීට හිතාගන්න බැරි තරම්. ඒත් අද ඒ වෙනුවට කම්මුල් දෙක රිදෙන්නම මිරිකලා අල්ලලා කේන්තියෙන් ” මට උඹව එපා..” කියලා කියද්දි එදා ඒ ඇස්වල දැක්ක ආදරෙන් එක අංශුමාත්‍රයක්වත් අද ඉතුරු වෙලා නෑ නේද කියලා මාධවීට දැනුණා. 

          ” මම ඔයාට කිව්වේ බොන්න එපා කියලා විතරනේ තනුර.. ඇයි පිරිමියෙක්ට ගහනවා වගේ මට ගහන්නේ හැමදාම.. ඔයාගේ අතින් පයින් ගුටිකන්න තරම් හයියක් නෑ දෙයියනේ මට.. “

          අලුත් කඳුළු ඇස්වලට එකතු වෙද්දි මාධවී වේදනාවෙන් කතා කළා.

          ” කට වහපන් කිව්වේ……. “

          කේන්තියෙන් එහෙම කියාගෙන තනුර ආපහු ගහන්න වගේ අතක් ඉස්සුවාම මාධවී ඉක්මනට මූණ අත් දෙකෙන් වහගෙන ඔළුව බිමටම ඔබාගත්තා. තොලක් කටක් පැළුණොත් හෙට කොහොමද වැඩට යන්නේ..? ගෙදර ප්‍රශ්න පිටට පෙන්නන්න බෑ. ඒ හැමදේම වහගෙනයි ජීවත් වෙන්නේ. 

          ” උඹ මෙච්චර ගුටි කාලත් ඇයි යන්නේ නැත්තේ ආ.. ඇයි මේ ගෙදරින් එළියට බැහැලා යන්නේ නැත්තේ..? උඹට ඕනේ මගේ ජීවිතේම කාලකණ්නි කරලා දාන්න නේද.. ආ.. උඹව බැන්ඳ දවසේ ඉඳලා මට කෙලවුණා.. කවදාවත් උඹෙන් මට ලැබීමක් නෑ.. කරුමේ.. තියෙම හැමදේම නැතිභංගස්ථාන වෙලා ගියා.. කවද්ද කියපන් උඹ මාව මේ මර උගුලෙන් නිදහස් කරන්නේ.. ආ.. කියපන්.. කවද්ද උඹ මට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ.?”

         කොණ්ඩෙන් කරකවලා අල්ලලා බිමට හංඟන් ඉන්න මූණ එළියට ඇඳලා අරන් තනුර එහෙම කිව්වා. 

         ” මං ඔයාට ආදරේ නිසයිනේ තනුර ඉන්නේ.. “

         ” උඹට කවුද කිව්වේ මට ආදරේ කරන්න කියලා..? “

           තනුර තවත් තදින් කොණ්ඩෙන් කරකවලා අල්ලන ගමන් ඇහුවා. මොන විදියේ ප්‍රශ්නයක් ද ඒ. තනුර මාධවීගේ ජීවිතේට ඇවිත් අවුරුදු අටක් දැනට. ඒ අවුරුදු අටෙන් අවුරුදු පහක්ම ආදරේ කළා. ඒකත් හිතේ නිදහසෙන් නෙමෙයි. මාධවී ගෙදරින් අනන්තවත් ගුටි කන්න ඇති මේ සම්බන්ධේ නවත්තන්න කියලා. ඒකට ලොකුම හේතුව මාධවී දෙමළ හින්දු පවුලක එකම දුව. මාධවීගේ අප්පාට ඕන වුණේ මාධවීව දෙමළ කෙනෙක්ටම බන්ඳලා දෙන්න. ඒත් අම්මාගෙන් අප්පාගෙන් කොයිතරම් ගුටි කෑවත් මාධවී එක මොහොතකටවත් තනුරව අතාරින්න ලෑස්ති වුණේ නෑ. තනුරගේ මත්තේම හිටියා. අවුරුදු පහකට පස්සේ කොහොමහරි මාධවී දිනුවා. ඒත් ඒ දිනුම ලැබුණේ ලොකු පරජයකුත් එක්කමයි. කොයිතරම් නීති දැම්මාත් කොයිතරම් නම් ගුටි බැට දුන්නාත් මාධවී තනුරව අතාරින්නේ නැති තැන අප්පා මේ කසාදෙට කැමති වුණා. මාධවීව නෑදෝයෝ හැමෝම ඉස්සරහා ලස්සන මඟුල් ගෙයක් අරන් තනුරට බන්ඳලා දුන්නා. හැබැයි එදා ඉඳන් මාධවීට ඒ ගෙදර දොරවල් සදහටම වැහුණා. තමන්ගේ පවුල, අම්මාගේ අප්පාගේ ආදරය, සරලවම කියනවා නම් මාධවී තනුර නිසා එයාගේ ආගම පවා සෑහෙන්න දුරකට අතෑරියා. ඉස්සර නිතරම ගිය කෝවිල වෙනුවට තනුරගේ අතේ එල්ලිලා පන්සල් ගියා. දෙවියන් වඳිනවා වෙනුවට බුදු හාමුදුරුවන්ට වන්දනා මාන කළා. කෝවිලේ දේව පිළිම වලට මල් මාලා දාලා කිරෙන් නාවනවා වෙනුවට පන්සලේ බුදු මැදුරට ගිහින් මල් පූජ කරලා බෝධිය පැන් වලින් නෑව්වා. මාධවී ඒ හැමදේම කළේ තනුරට තිබුණ ආදරේ නිසයි. පෙනුමෙන් දෙමළ තරුණියක්ගේ හැඩයක් නැති නිසා දැන් මාධවී දිහා බලන කිසිම කෙනෙක්ට කියන්න බෑ මාධවීගේ පවුල් පසුබිම ගැන. පැහැපත් හම, අමාරුවෙන් වුණත් පැහැදිලිව කතා කරන හුරතල් සිංහල වචනවලට තනුරත් පුදුමාකාර විදියට ඒ කාලේ ආදරේ කළා.

         අප්පාගේ ගෙදර දොර සදහටම වැහුණාට පස්සේ පහුගිය අවුරුදු තුනක්ම තනුරගේ ආදරණීය බිරිඳ විදියට මේ වහල යට මාධවී ජීවත් වුණා. ඒත් පහුගිය මාස හයක වගේ කාලයක් ඇතුළත මාධවීගේ ජීවිතේ උඩු යටිකුරු වුණ හැටි මාධවීටත් හිතාගන්න බෑ. නිතර ලැබුණ සිපගැනීම් වෙනුවට ඇඟ පත තැලෙන තරමට ගුටි බැට ලැබුණා. හිත සනසන වචන වෙනුවට හිත පාරන බැනුම් ලැබුණා. ආදරේ හිතෙන වචන වෙනුවට ඇනුම්පද වලින් කන් දෙක පිරුණා. ලස්සන සුරංගනා ලෝකයක් වගේ තිබුණ ජීවිතේ අපායක් වුණා. ඒ මේ හැමදේම දමලා ගහලා මාධවී කොහේ කියලා යන්නද..? තනුරගේ හෙවණ ඇරෙන්න මාධවීට කෝ තව හව්හරණක්. 

          ” මට උඹව එපා.. අනික උඹටත් මාව ඕනේ නෑනේ.. අදත් අර පරයාත් එක්ක උඹ බස් හෝල්ට් එකේ හිටියා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.. නෑ කියපන් පුළුවන් නම්.. නෑ කියපන්.. පට්ට බැල්ලි…..”

          දත්මිටි කාගෙන කොණ්ඩෙන් අල්ලන් ඉන්න ගමන් දෙපැත්තට ඇදලා හොලවලා ආපහු වම් කම්මුල පෑරෙන්න තනුරගේ අතින් තද පාරක් වැදුණා. 

          ” උදේශ් කියන්නේ යාළුවෙක් විතරයි තනුර.. අපි හැමෝම එකම ඔෆිස් එකේනේ වැඩ කරන්නේ.. අනේ ඒ ඇරෙන්න කිසිම දෙයක් නෑ අපි අතරේ.. ඔයා මාව මැරුවත් මම ආදරේ ඔයාට.. ඇයි ඒක තේරෙන්නේ නැත්තෙ.. මට වෙන පිරිමි එපා තනුර.. මට වෙන පිරිමි එපා.. අම්මාගෙන් අප්පාගෙන් ගුටි කාලාත් මම ඔයාවම ඉල්ලුවානේ.. අන්තිමට ඔයාව මට දීලා එයාලා මාව අතෑරියා.. දැන් ඔයාත් අන්තිමට මාව අතාරින්න යනවා.. අනේ ඇයි තනුර….. ඔයා මට ආදරේ නැද්ද….? “

          ” අපෝ…….. මූසලකම.. නතර කරගනින් උඹේ ඔය ඇඬියාව…. කරුමේ.. කෑවා මගේ ජීවිතේ… “

           කේන්තියෙන් මාධවීව තල්ලු කරලා දාලා තනුර නැගිටින්න හැදුවත් මාධවී ආපහු තනුරගේ අතේ එල්ලිලා තනුරව නතරකරගන්න උත්සාහ කළා. 

         ” ඔහොම බොන්න එපා.. පිංසිද්ධ වෙයි.. අරක්කු ජාති බොන්න එපා.. ඔයා අසනීප වෙයි.. “

          ” ඉතිං උඹට පාන්ද..? ආ.. උඹට පාන්ද..? මම අසනීප වුණාම උඹට පාන්ද බැල්ලියේ..? අනික මට එහෙම වෙනවා නම් උඹට හොඳයිනේ.. උඹට එතකොට අරූ එක්ක ඕන ජෝගියක් නටන්න පුළුවන්නේ.. “

          ” අනේ ඇයි තනුර..? ඇයි මේ..? මට වෙන පිරිමි ඕන නෑ… මට ඕනේ ඔයාව.. ඔයා එක්ක ලස්සනට ඉන්න ඕනේ මට.. අනෙ තනුර.. ඉහි.. ඉහි.. “

          ” අනේ පලයන් යන්න වල් බැල්ලි…. උඹට මම කරන දේ උඹම දන්නේ නෑ… “

          තනුර කේන්තියෙන් වෙව්ලනවා. ඒත් හිතට හයිය අරන් ඒ මූණ දිහාම මාධවී බැලුවා. 

         ” මරන්න මාව.. ඔයාගේ අත් දෙකෙන්ම මරන්න.. එතකොට හරි ඔයාට සැනසීමක් ලැබෙනවා නම් මාව මරන්න.. ඇයි බලන් ඉන්නේ.. මරන්න මාව.. මොනා කළාටද දෙයියනේ මෙහෙම කරන්නේ මට.. මරන්න.. ඔය අත් දෙකෙන්ම මරලා දාන්න මාව..”

          ” කරුමේ……… “

          තනුරගේ කටින් පිටවුණේ එච්චරයි. ඒ එක්කම වැදුණ තවත් කම්මුල් පාරකට මුළු ලෝකෙම පේන්නේ නැතුව ඇස් දෙක නිලංකාර වෙලා යනවා වගේ මාධවීට දැනුණා. 

         අතේ තිබුණ පනාව වැටෙනවා දැනුණාම මාධවී ගැස්සිලා පියවි ලෝකෙට ආවා. ඊයේ රෑත් වෙනදා වගේම ඉවර වුණේ රණ්ඩුවකින්. කම්මුල් පුපුරු ගහන තරමේ කම්මුල් පාරකින්. කණ්නාඩියෙන් පේන තමන්ගේ මූණ දිහා මාධවී බලන් හිටියේ තමන් ගැනම දැනෙණ අනුකම්පාවකින්. ආදරෙයි කියලා මේ තරම් ඉවසන්න ඕනේද..? හැමෝම මාධවීගෙන් අහපු එකම ප්‍රශ්නය තමයි ඒ. ඒත් ගුටි කාගෙන හරි තනුර මත්තෙම ජීවත් වෙනවාට වඩා තනුරගෙන් ඈත් වෙන එක ගැන මාධවී හීනෙන්වත් හිතුවේ නෑ. එහෙම දෙයක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නෑ. ඒ තරම්ම ආදරයක් තනුර ගැන මාධවීගේ හිතේ අදටත් තියෙනවා. 

           කල්පනා කරලාම වෙලාව ගෙවිලා ගිය නිසා මාධවී ඉක්මනට ඇඳුමක් ඇඳගෙන ඔෆිස් යන්න කලින් කාමරෙන් එළියට ආවේ කුස්සියට ගිහින් දවල් කෑම එක බෙදාගන්න හිතන්. ඒත් තනුරගේ අම්මා කුස්සියේ ඉන්නවා දැක්කාම ආපහු හැරිලා යන්නත් හිතුණා. ඒ වුණාට ගෙදරින් කෑම අරන් නොගියොත් සමහරවිට අද රෑට තනුරට තමන් එක්ක අලුත් රණ්ඩුවක් අල්ලන්න ඒකම ඇති හේතුවක් වෙන්න කියලා මාධවී දන්නවා. 

         ” දුප්…. පූසා…. මූසලකමට ගේ අස්සෙම ඉන්නවා රිංගගෙන ඉන්නවා කොච්චර එළෙව්වත් යන්නේ නෑ.. දුවපන් කිව්වේ…. “

          මාධවී කුස්සියට එනවා දැක්ක අම්මා ඇත්තටම කුස්සියේ හිටිය පූසාව එළවන්න නෙමෙයි ඒ ටික කිව්වේ. ඒත් ඒ ටික මේ කියන්නේ තමන්ට කියලා දන්න නිසාම මාධවී ඔළුව පහත් කරන් කෑම ටික බෙදාගන්න ලෑස්ති වුණා. 

         ” මාධවී.. මම අන්තිම පාරට කියන්නේ.. ආපහු මගේ කොල්ලාට මේ ගෙදරින් හිස් බඩ එළියට බැහැලා යන්න වැඩ සිද්ද කරන්න එපා.. මම මගේ පුතාලා දෙන්නාව හැදුවේ සුර සැප දීලා.. උන්ටත් පින නෑ කොහෙවත් යන මූසල ගෑනු කරේ එල්ලන් දුක් විඳිනවා.. යන්තන් ලොකු එකාට නම් ලැබුණා සීදේවි නෝනා කෙනෙක්.. ඒකට හරියන්න මගේ පොඩි එකාගේ ජීවිතේ තමයි නිකන් කාලකණ්නි වුණේ මේ දෙමළ පඩංගුවක් කරේ එල්ලන්.. “

          ඒ පාර අම්මා කියන්න තියෙන දේ මාධවීගේ මූණටම කිව්වා. ඒත් මාධවී මූණ බිමට ඔබාගෙන බත් ටික හිමින් බෙදාගත්තා. 

         ” ඇහෙනවාද මං කියන දේ.. ආ.. නැත්තං භාෂා පරිවර්තක කෙනෙක් ගෙදරට ගෙන්නලා දෙමළට හරවලා කියන්න වෙයිද..? “

         මාධවී ප්‍රතිචාර දෙන්නේ නැති තැන අම්මා බලෙන්ම එල්ළෙන්න හැදුවා. 

          ” අම්මේ.. කේන්ති ගන්නේ නැතුව හොඳ අම්මා වගේ මේ අහන්නකෝ.. මම දෙමළ නෙමෙයිනේ දැන්.. මම කෝවිල් යනවාද..? නෑනේ.. දෙමළ කතා කරනවාද..? නෑනේ.. අඩුම ගානේ ආසාවට කියලා තෝසේ වඩේවත් අරන් කනවාද..? නෑ නේද.. ඔයාලා එක්ක පන්සල් යනවා.. බුදුන් වඳිනවා.. අනික මම ගාථා ටික පවා දැන් දන්නවානේ.. “

          ” ගාථා….? ගාථා පාඩම් කළා කියලා ජාතකේ වෙනස් වෙන්නේ නෑනේ.. “

          ඒ කියපු දේට ඇත්තටම කියන්න දෙයක් මාධවීගේ කටට ආවේ නෑ. මිනිස්සු කැමැත්තෙන්ද තමන්ගේ ආගම උපතින් අරන් එන්නේ. නෑ නේද..? තමන්ගේ දෙමව්පියන්ගේ ආගම ඉබේටම ලැබෙන සංකෘතියක් තියෙන සමාජයක මේ වගේ දේවල් තමන්ට අත් විඳින්න වෙනවා කියලා මාධවී දැන් දන්නවා. 

          ” මාධවී.. මම අම්මා කෙනෙක් විදියට මේ ඉල්ලීම කරන්නේ.. පුළුවන් නම් මගේ කොල්ලාගේ ජීවිතේ කාලකණ්නි නොකර ඉන්න බලන්න.. තමුන් ඇත්තටම ආදරේ කළා නම් එක දවසක් හරි තනුර ගැන හිතලා තීරණ ගන්න.. මගේ දරුවාගේ අකමැත්තෙන් මේ වහල යට ඉඳලා ඒ අහිංසකයාගේ ජීවිතේ කාලා දාන්න එපා.. “

         අම්මාගේ කටින් පිටවෙන වචන ටික අහගෙනම හිත තදකරගෙන බත් එක බෙදාගෙන ඉවරවෙලා මාධවී අම්මා දිහා බැලුවා.

           ” තනුරට මම ගොඩක් ආදරේ නිසයි අම්මේ එයාගෙන් ගුටි කාගෙන හරි මේ වහල යටම මම ජීවත් වෙන්නේ.. කවදාහරි දවසක මේ ගෙදරින් එලියට යනවා නම් යන්නේ මගේ මිනිය විතරයි.. සමහරවිට ඒ දවසත් වැඩි ඈතක නෙමෙයි වෙන්න පුළුවන්.. එක්කෝ මම මගේ ජීවිතේට මොනවා හරි කරගෙන තියෙයි.. ඒත් එකත් බෑ.. තනුරව දාලා යන්න ලෝබකමට මම ඉවසන් ඉන්නවා.. හැබැයි සමහර විට තනුරගේ අතින්ම මං මැරිලා යයි.. කමක් නෑ.. ඒකත් එයා අතින්නේ.. මං ගිහින් එන්නම් අම්මේ.. මාව තනුරගෙන් ඈත් කරන්න හදන්න එපා.. මට දැන් ඉන්නේ එයා විතරයි.. එයා නැති ලෝකයක් මට නෑ අම්මේ.. තනුර කියන්නේ මගේ ජීවිතේ.. අපේ පවුල කඩන්න එපා.. පුළුවන් නම් ඒක රැකගන්න මට උදව් කරන්න.. මගෙන් තනුරව උදුරගන්න එපා.. මං වැඳලා ඉල්ලන්නේ.. මගෙන් උදුරගන්න එපා.. මගේ පවුල මට ඕනේ.. වඳින්නම් අම්මේ.. මට මගේ පවුල ඕනේ…. “

           බත් එක බෙදලා පැත්තකින් තියලා කොයිතරම් ඇනුම්පද ඇහුණත් වෙනදා වගේම එළියට බැහැලා යන්න කලින් අම්මාට දණ ගහලා වැඳලා කෙලින් වුණ මාධවී අම්මා ඉස්සරහාම අත් දෙක එකතු කරන් ඇස්වල කඳුළු පුරවන් මේ ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිතය. ඒ කිව්වේ තනුරව. තනුරගේ ආදරය. තමන් සන්තකයේ මාධවීට දැනට ඇති එකම වස්තුව එච්චරයි. කොහොමද දෙයියනේ ඒ ආදරේ හිතෙන් උගුල්ලලා විසික් කරලා දාන්නේ. 

– මේ ප්‍රශ්නවලට හේතුව මාධවීගේ ඔෆිස් එකේ වැඩ කරන උදේශ්ද..? 

        ප්‍රශ්නනේ…? ටිකක් ඉස්සරහට ඉවසීමෙන් කියවන් යන්න. ටිකක් වැඩිපුර අඬවන්නම්.. හාද…? 

         කකතාවේ මුල කොටස් ටික නිසා කියවලා හොර පාරෙන් යන්නේ නැතුව පුළුවන් නම් ලයික් කමෙන්ට් කරලා යන්න රීච් හැදෙන්නත් එක්ක අනිත් අයට පේන්න. ගොඩාක් ස්තුතියි. 

#ඊලඟ_කොටස_අනිද්දා_රෑ_8ට.

බුදුසරණයි ☸☸☸

Nishee Boteju

Nishee Boteju II

අද කතාව කොහොමද ?
+1
16
+1
99
+1
7
+1
3
+1
9
+1
0
+1
5

21 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here